Friday, August 5, 2016

කන්දකට නමක්....

(google street view)
“රැවෙන්ඩත් එනවා දැන් මදැයි ඔය මදුරුවෝ කකා එළියේ හිටියා හැමෝම ගේ ඇතුළට එන්ඩ”  අම්ම කථා කරනවා.
“අනේ තාත්තේ අපි තවටිකක් මෙහෙම ඉමු, ඔහේ කන මදුරුවෙක් නෑ”
“අපි අර බල්ලහල කන්ද වලාකුළු වලින් වැහෙනකම් මෙතන ඉමුකො තාත්තේ”
ඇයි තාත්තේ ඒ ගලට බල්ලහෙල ගල කියන්නේ? දුවට ප්‍රශ්නයක්..
“පුතේ ඔය ප්‍රශ්නේ මීට අවුරුදු ගානකට කළින් මමත් ඇහුවා අපේ ආතා ගෙන්”
“ඉතිං ඉතිං සියා මොනවාද කිව්වේ? ඇසුත් ලොකුකරන් කටත් බාගෙට ඇරගෙන පුතත් අහනවා.
“ඔන්න ඉස්සර කාලේ බුදු හාමුදුරුවෝ අහසින් වැඩියාලු සිරි පතුළ පිහිටවන්ඩ සුදුසු තැනක් හොයමින්, අහසින් වැඩිය කියලයි කියන්නේ”
“මුළින්ම වැඩියේ දැන් ඔය සිරිපතුල පිහිටවල තියෙන නල්ලතන්නියට නෙවෙයිලු”
එහෙනං?
“මුළින්ම වැඩියේ මේ පේන ගල් පර්වතය උඩටලු”
ඉතිං ඊට පස්සේ ? දුවටයි පුතාටයි දෙන්නටම මේ කතාව අහනකං ඉවසුමක් නෑ.
“මේ ගල් පර්වතයට අහසින් වැඩලා සිරිපතුළ පිහිටවන්ඩ හදන කොටම බල්ලෙක් හැල හැල ගෑවලු”
“ඊට පස්සේ මෙතන සුදුසු නැහැ කියල තීරණය කරාලු, එදා ඉදන්ලු මේ ගලට බල්ලැහැල ගල කියල නම දැම්මේ ” මම කියනවා.
“හයියෝ අපරාදේ” පුතා කියනවා.
ඇයි අයියේ එහෙම කියන්නේ? දුවට ප්‍රශ්නයක්.
“හයියෝ ඒකවත් හිතාගන්ඩ බැරිද මේ ගලේ සිරිපාදේ තිබ්බනම් අපිට ලේසියෙන්ම සිරිපාදේ යන්ඩ තිබුණනේ, අපිට පොඩි කඩයක් දාගන්ඩත් තිබ්බනේ”
“හා හා දැන් කරුවලත් වැටිලා ළමයි දෙන්නත් එක්ක ගෙට එන්ඩ”

“අපි දැන් ගේ ඇතුළට යමු අන්න අම්ම කථා කරනවා”.

Friday, July 22, 2016

එකල්හි හොරු, මෙකල්හි විරු!!!



  එකල්හි හොරු
 මෙකල්හි විරු
  නොඑන්නේද මරු
  සොයා පල් හොරු ?

දිනක් මම අම්මාද සමග පොළට ගියේ සතියකට සෑහෙන එළවළු හා කරවල ගෙන ඒමටයි. සුපුරුදු පරිදි පොළට ඇතුල්වන තැන සිට වෙළෙන්දන්ගේ මිළගණන් හා එළවළු වල තත්වය පිරික්සමින් අම්මා මිනිසුන් පීරාගෙන එක අතකින් මාවද සුරැකිව අල්ලාගෙන ඉදිරියට ඇදෙයි. ඇය පළමූ වටයේදී කිසිවක් මිලදී නොගනී.එළවළු වෙළෙන්දන් අතර මිනිසුන් ගමන් කරන පාරේ හිදගෙන සිටින අලි කකුලක් වැනි විශාල වූ කකුලක් ඇති හිගන්නා තවමත් මට මතකය.මොහු බරවා රෝගියෙකයි මම සිතමි. ඇය තම මුදල් පසුම්බියෙන් ගත් මාරු කාසියක් මොහුට දෙයි, හරියටම ඒ කොපමණ මුදලක්දැයි හරියටම මතක නැතත් ඒ ශත විසිපහක් හෝ ශත පනහක් වියයුතුය.

අප සුපුරුදු ලෙස පළවෙනි වටය නිමකර අද කොටුවෙන් කැඩුවා වගේ පේන බෝංචි විකුණන වෙළෙන්දෙකු දෙසට හැරුණා පමණි. වීදී නාට්‍යක නළුවන් පදිකයන් අතරින් මතුවෙනවා සේ අප ඉදිරියට ආවේ වයස හතලිස් පහක් පමණ වන කැහැටු සිරුරක් ඇති සිගන්නෙක් මෙන් පරණ වූ කමිසයක් හා සරමක් හැදගත් පුද්ගලයෙක් හා පොලිස් නිලධාරින් තිදෙනිකි. එක් අයෙකුගේ ස්වබාවයෙන් ඔහු අනෙක් දෙදෙනාට වඩා ඉහළ නිළයක් දරන්නෙකු බව වැටහිණි. අනෙක් දෙදෙනාගෙන් එකෙකුගේ අත බැටන් පොල්ලකි. අනෙකා හිගන්නා වැනි මිනිසාට අණ කරයි.
“උස්සගනින් කෙසෙල් කැන කරට”
මහළු මිනිසා ඇවිදින විට තියන පියවරක් පාසා කකුල් ගැස්සෙයි. පසුව දැනගත් පරිදි එයට හේතුව යටිපතුල් වලට පහර දීමයි. එකවර ඔහුට කෙසෙල් කැන උසුලා ගැනීමට නොහැක. මෙයින් කෝපයට පත්වන අණ දෙන්නා මහල්ලාගේ පිටට වැරෙන් පහරක් ගසයි. පහරේ සැරට වාරු නැතිව යන මහල්ලා කෙසෙල් කැන උඩම ඇද වැටෙයි.
“නැගිටපිය පරයා තොට මහරෑ අනුන්ගේ වතුවලින් කෙසෙල් කැන් කපන්ඩ පුළුවන් දැන් මේක උස්සා ගන්ඩ බෑ” කියමින් වැටී සිටින මිනිසාට පයින් අනියි. පසුව කෙදීරිගාමින් නැගී සිටින අසරණයා කෙසෙල් කැන කරට ගනියි.
කියපිය මම ***** පෙරේරා ඇමති තුමාගේ(මොහු එවකට පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙකි.) වත්තේ කොටුවෙන් ( මෙය ආණ්ඩුවේ ඉඩමක් බලෙන් අල්ලාගත් එකකි) ඊයේ රැ කෙසෙල් කැනක් කපලා අහුඋනා” කියලා. පොලිෂ් බල්ලා වෙළෙන්දන්ගේ හඩ යටපත් කරමින් කෑගසයි.
මහල්ලා කෙසෙල් කැනත් කරේ තියාගෙන ගැස්සෙමින්  දෙපසට පැද්දෙමින් පොළ වටා යයි.ඔහුට පිටුපසින් බැටන් පොල්ල ලෙළවමින් එක පොලිස් බටයෙක්ද අනෙක් බටයා හා නිලදාරියාද වෙන්ව ගමන් කරයි.
“කියාපිය මම ආයේ මේවගේ හොරකං කරන්නේ නෑ කියල” නිලධාරී පෙනුමක් ඇත්තා  ගොරවයි.
ඒ එක්දහස් නවසිය අසු ගණන් වල මුල භාගයේ සිදුවූ සිදුවීමකි.

 ගිය සතියේ පුවත් පත් වාර්තා කර තිබුණේ හොරකං කර අසුවී බන්දනාගාර ගතවීම යනු රටේ ජනාදිපති වීමට සුදුසුකමක් බවය. එසේම දැන් හොරුන් බන්දනාගාරයට යන්නේ මාංචු දැමු දෑත් ඉහළට ඔසවා මහත් අබිමානයකිනි. අප ශ්‍රී ලංකා මාතාවගේ භුමිය වෙනත් රටකට උගස් කර එයිනුත් නොනැවතී ඒ සදහා අල්ලසක්ද ගත් අමනුස්සයෙකුව බන්දනාගාරයේ සිට පැමිණියේ වහලුන්ගේ කරමතින් හා ඔවුන්ගේ උම්බෑ හඩ (ජයඝෝෂා) මධ්‍යයේය..
කාලය කෙතරම් නපුරුද? අකුරු කියවීමේ හැකියාවටත් වඩා පරිඝනක සාක්ෂරතාවය ඉහළ මේ අසිරි ලංකාවේ බත් කන හරකුන් වැඩිවන්නේ කුඩා කළ මව් කිරි නොව ගොන් කිරි බොන නිසාද? දැන දැන පුද්ගලික ලාභ අපේක්ෂාවෙන් නොදන්නාසේ ගොනාට අඳිනවාද? අසිරි ලංකාවේ අම්බරුවන්ව අන්දවනවා ද!!!!!!



Tuesday, June 21, 2016

බ්ලොග් විරුවෝ හා ඇනෝ ගසන්නෝ


බ්ලොග් අවකාශයේ සුපිරි තරු දෙකක් අතර මත ගැටුම ආරවුලක් බවට පත්වුයේ ඇනොවෙකුගේ කමෙන්ටුවක් නිසාය. සමහර බ්ලොග් ලියන්නෝ මුළින්ම ඇනෝ කමෙන්ට් කිරීමට නොහැකි වන ලෙස සකසති. මගේ පුද්ගලික මතය නම් ඇනොලාද සිටිය යුතුය යන්නයි. සමහරු බ්ලොග් ලියන්නේ තමන්ගේ නියම නමෙනි. සමහරුන්ගේ බ්ලොග් ප්‍රොෆයිල් නම බොහෝ දෙනෙක් හදුනති. මෙවැනි විටකදී තමන්ගේ හිතට එකගව අදහස් ප්‍රකාශ කිරීමට අපහසු නම් එහෙත් අදහස දැක්වීමට අවශ්‍යම බවක් දැනෙයි නම් ඇනෝ ඇවිත් හෝ තම අදහස ප්‍රකාශ කිරීම ලියන්නාටත් කියවන අයටත් ප්‍රයෝජනවත් වේ. එසේම මාද්‍ය නිදහස ගැන බැලුවත් ඕනෑම අයෙකුට අදහස් දැක්වීමට අවස්ථාවක් ලබාදීම සුදුසුය.
එහෙත් බොහෝවිට සිදුවන්නේ මෙසේ ප්‍රෝෆයිලයක් නැතුව පැමිනෙන්නෝ බ්ලොග් කරුට අපහාස කිරීමයි. සමහර විහිළු සපයන ඇනොලද නැතුවා නොවේ. කුකුලාටනම් ඇනෝ ගැසීමට අවශ්‍ය නොවන්නේ කුකුළා කොහොමත් ෆේක් නිසාය. එහෙත් කිසිවෙකුටවත් හිත රිදවන කමෙන්ට් දාන්නේ නැත්තේ බ්ලොග් කරුවෝද කලාකරුවන් මෙන් සොදුරු සිත් ඇති සංවේදී පිරිසක් කියා කුකුළාට සිතෙන බැවිණි. කුකුළනම් කිසිදිනක ඇනෝ කමෙන්ට් බ්ලොක් කරන්නේ නැත. ඇනෝ ලෙස ඇවිත් හෝ තම අදහස ප්‍රකාශ කිරීමට ඔවුන්ටත් අයිතියක් ඇතයි මට සිතේ.
 වැඩ ගොඩවී ඇති නිසා මේ දවස්වල පෝස්ට් එකක් ලියාගන්නට නොහැකි විය. පහළින් ඇති කවියක් වගේ එකත් කියවලා ඔහෙලගේ අදහසුත් ලියාගෙනම යනවනම් සතුටුය...

පිං කිරීම.....

ගල් පිළිම බොල් වෙහෙර
පිං පෙට්ටි ඉදිරියේ
පහේ කැට දහයේ කොල
උඩ පනීයි හැබිළියේ
පොඩි දරුවෝ අතපායි
ටවුමේ බස් හන්දියේ
දෙස් දෙවොල් තිය තියා
කොල්ලන්ට සනුහරේ
උපාසක අම්ම අපෙ

පින්කරයි පංසලේ....


Have a Nice day Bloggers...

Friday, June 10, 2016

මොහොතක් ඔය පාට කන්නාඩිය ගලවා අවට බලමුද?



උපතින්ම බවුද්දයෙක් බැවින් කුකුළා පොඩි කාලයේ සිටම ජාති වාදියෙක් විය.පැටියා කාලයේ හිතුනේ දෙමළුන් හා අනෙකුත් ජාතිකයන් සිංහලයන්ට වඩා පහත් ජාතින් ලෙසය, හිතට දුක මේ පොඩි වුන්ගේ මානසික තත්වයෙන්ම සිතන මහවුන් මහා ගොඩක් ලංකාවේ සිටින බව දකින විටය.  කුඩා කළ දුටුගැමුණු රජතුමාගේ කථාව කියාදුන් ගුරුවරු පවා ජාති ආලය ඉලිප්පුවා විනා එළාරගේ සොහොනට ගරු කරන ලෙස දුටුගැමුණු රජතුමා කළ ප්‍රකාශය කිසි විටෙකත් අවදාරණය නොකළේය.හරියට කිස්තියානි ගුරුවරයෙක් මානව පරිණාමය උගන්නුවා වාගෙය. අපේ ජාතික විරයන් සිංහල ජාතිය බේරාගත් විරුවන් ලෙස ගුරුවරුන් පවා උගන්වනවා කියා සිතෙන්නේ මට විතරද? “අනේ කුහුබින්නේ තොපටත් රජෙක් ඉන්නේ” කියා අපි වහලුන් කිරීමට ඇද දමන අමන රජුන්,සෙන්පතියන් අදත් සිටින බවත් ඔවුන්ට වදින කොටසකුත් අප අතරම සිටින බවත් දැනෙන්නේ මටම විතරද?
කොරන්ඩ ඇති අටමගලයක් නැති නිසා කුකුළා තුන් තිස් පැයේම මුහුණු පොතේ කරක් ගහනවාය. දැන් දැන් මුහුණු පොතේ ජනමතයට ආණ්ඩුවත් කන්දෙනවා වැනි කොළ එළියක් පෙනෙන්නේ කෝටි ගාණක් වියදම් කර ගෙබි ඇමතිවරුන්ට(පනින සියල්ලෝ ගෙම්බෝ නොවේ..හික්.හික්..) මහජන සේවයට ගේනවා කියූ සුපිරි කාර්(මෙව්වා සමහර ගම්වල පාරවල් වල යන්ඩ පුලුවන්ද මන්ද හිටං) ගේන්නේ නැතුව ඒ මුදල් විසාලාවක් වුන සාලාවේ අවට මිනිසුන්ගේ සුබ සාදනයට යොදවන බව දැන්වීමෙනි. කොස්ගම සිදුවීමෙන් පසු ෆේස් බුක් යුද විශේෂ අග්නයෝ හා බුදු පිළිම වන්දනා කරුවෝ(මොවුන් පෝයකටවත් පන්සල් යනවාද කියා ෂුවර් නැත) සැමටම විහිළු සැපයුහ.නොපිපිරුණු උණ්ඩයක් බිත්තියක් පසාරු වීගෙන ඇවිත් ඇති ආකාරයත් බුදු පින්තූරයට ඉන් හානියක් නොවී ඇති ආකාරයත් දැක්වෙන පෝස්ට් මුහුණු පොතේ අතිනත යනවා දුටුවෙමි. සම හරක්ට පිළිමේ බේරිලා මිනිස්සු දාහක් මළත් අවුලක් නැත..
කොස්ගම බෝම්බ පිපුරුණේ හදිසි අනතුරක් නිසා විය හැක. ඒත් උතුරේ හා නැගෙනහිර තිස් වසරක් ගිණි ඇවිලුනි, දිනපතා කාලතුවක්කු උණ්ඩ හා ගුවන් ප්‍රහාර එල්ල වුණි. දකුණේ බෝම්බයක් පිපිරෙන විට යුද්දය අපිට දැනුණත් උතුරේ හා නැගෙනහිර ජනතාව පත්වූ තත්වය අපට සිතාගැනිමටවත් නොහැක. කිලෝමීටරයක වපසරියක විනාශය ගැන කම්පාවෙන අපි අපේම සහෝදර ජනතාවකගේ දශක තුනකටත් වඩා වැඩි කලක් පැවති යුද්දයෙන් සිදුවූ  දහස් සන්කයාත ජිවිත දේපළ හානි ගැන අනුකම්පාසහගත සිතුවිල්ලක්වත් ඇති කර ගත්තාදොයි කියා මොහොතක් කල්පනා කිරීම වටී..

ගං කුකුළා.

Thursday, June 2, 2016

සීයාගේ කෝට් එක



සීයාගේ කෝට් එක
ලංකාවේ ජල ගැලීම් නිසා විශාල පිරිසකට උන්හිටි තැන් අහිමි විය, විශාල පිරිසකට තාවකාලිකව හෝ තම නිවස්න වලින් පිටවී තාවකාලික නවාතැන් වලට යාමට සිදුවිය. ගංවතුර මිනිස්සුන්ගේ මනුස්සකම මෙන්ම අමනකමද ප්‍රදර්ශනය කළේය. මුහුණු පොතේ නලින් හා ඔහුගේ මිතුරු කැල දියත්කළ අවතැන් වුවන් සදහා කෑම පැකට් එකතු කිරීම අමු අමුවේ කොපි කල ජනප්‍රිය රුපවාහිනී නාළිකාවක නිරුවත දැක ගැනීමට හැකි වුයේ දැන් ඕනෑවටත් වඩා කෑම ලැබෙනවා කියා බොරුද කියමින් ප්‍රේක්ෂකයා ඉදිරියේ ඇදී වත උනා දැමීමෙනි. මේ සොයුරන් විසින් කරන නිවාස ලිං පිරිසිදු කිරීමත් හෙට දිනයේ තවත් මඩජාලයක් කොපි කරනවා නම් හොදය.ඒත් කොපි කරන්නන්ට අවශ්‍ය සේවයක් කිරිමද, පුහු ජනප්‍රියත්වයද යන්න විමසා බැලීම වටී. ඒ අතරම බසු පවුල හා මිතුරන්ගේ සටහන් පොත් ලබාදීමේ වැඩ පිළිවෙළට කුකුලාගේ හද පිරි මෙව්වා එක පිරිනමනවාය. මේ අතර සිංහල හා මුස්ලිම් මිනිසුන් භේද කිරීමට පිරිසක් මඩ පෝස්ට් ෂෙයා කරනවා කණගාටුවෙන් යුතුව බලා සිටියෙමි.
අපේ තාත්තාගේ පියාට කෝට් කිහිපයක්ම තිබුණි. සියා මියගියද එයින් කෝට් කිහිපයක්ම ආච්චි අම්මා විසින් ඇයගේ අල්මාරියේ දමා පරිස්සම් කළාය. ඒ අතර පිත්තල බොත්තම් ඇල්ලු දුබුරු පැහැ කෝට් එක මගේ සිත පැහැර ගත්තේය. මසකට පමණ වරක් සිදුකරන අල්මාරි අස්කිරීමේ මහා ශ්‍රමදානයේදී සියාගේ පරණ බඩු අල්ලා බැලීමට අපට හැකි විය. ඒ අතරින් සියාගේ රිදී හවඩිය (මෙය ඉණේ බදින පටියකට සමානය) ආච්චි අම්මාගේ බොහෝ වර්ණනාවට පාත්‍ර විය. දිනක් මා පුදුමයට පත්කරමින් තද දුබුරු හා කළු පැහැ මිශ්‍ර  වර්ණයක් ඇති සියාගේ කෝට් එකක් මට දුන් ආච්චි අම්මා මෙය ගෙදර ගෙනියන ලෙසත් මේ දවස් වල පාන්දර සීතලට ඇද ගෙන නිදා ගන්ඩයයි කිවේය.
ඇදලා බලන්ඩ පුතේයයි නැන්දා කීවාය.
දන හිසනුත් පහළට වැටුණු එහි අත්දෙකත් අගල් කිහිපයක්ම දිගය.
මේ ළමයාට මේක ලොකු වැඩියිනැන්දා මගේ නිදානය පැහැර ගැනීමට තැත් කරනවාසේ මට දැනුණි
සිතලට අදින්ඩ නේ මගුල් ගෙදරකට අදින්ඩ නෙවෙයිනේආච්චි අම්මා මාව රැක ගත්තේය.
සීතලට ඇදීම කෙසේ වෙතත් මෙය හොරා පොලිස් සෙල්ලමේදී පොලිස් ඇදුම ලෙසත් රහස් පරීක්ෂක සෙල්ලමේදීත් නැතුවම බැරි දෙයක් විය.
දකුණේ භිෂනය රජවූ 88/89 වසර වල කළු ඇදුම්, ගම්පෙරළිය නවකථා පොත්  තිබුණු ගෙවල් වල කොල්ලන්, පොලීසිය නිළ හා නොනිළ හමුදා විසින් වැඩි ආරක්ෂාවට කදවුරු වල ගාල් කරන්නට හා මහපාරේ රංචු පිටින් ආදාහනය කරන්නට  පටන් ගත් බැවින් සියාගේ කෝට් එක පමණක් නොව රුසියන් පොත් කිහිපයක්ද ගිණි දෙවියාට පිදීමට සිදු විය.
ඔන්න ඕක පුච්චලා දාහන්කිව්වද තාත්තාගේ ඇස්වල වූ දුක්බර බව තවම මතකයට ඒ.

අතීත මතකයන්  ඇවිස්සුනේ ගිය සතියේ කුකුළාට ලැබුණු  කෝට් බෑය නිසාය. උත්සව අවස්ථාවලදී VIP අමුත්තෙකු සහබාගි වනවා නම් ටයිඑක විතරක් නෙවෙයි කෝට් බැයත් දැමිය යුතුය කියා පොසිඩියර් එකක් ඇවිත්ය.

Sunday, May 15, 2016

පොඩි කාලේ පිස්සු විනෝදාංශ


පොඩි කාලේ පිස්සු විනෝදාංශ
කුකුළාට පොඩිකාලේ ජොලියට කරපු වැඩ ගොඩක් තිබුණි. සමහර ඒවා බොහෝ පොඩ්ඩන් සාමාන්‍යයෙන් නොකරන ජාතියේ ඒවාය. එක කාලයකට රැය පුරා කලාමැදිරි පරිසරය ආක්‍රමණය කරති. අපි ඔවුන් අල්ලා ජෑම් බෝතල් වල දමා ගබඩා කාමරයේ හෝ ගේ පිළිකන්නේ හංගන්නේ වැඩිහිටියෙක් දැක්කොත් කෝටු පාර නොවරදින බව දන්නා නිසයි. අපි කලාමැදිරි පසුපස පන්නන විට එය දකින වැඩිහිටියන්
 “ඔවුන් අල්ලන්ඩ එපා කෑවොත් මුහුදේ මැටියි, හඳඒ පසුයි ගේන්ඩ වෙනවා වෙදකම් කරන්ඩ”
 යනුවෙන් කියන්නේ අප බය කිරීමටද නැත්නම් කලාමැදිරි කෑවිට කළයුතු බෙහෙතද කියා අපිට නොවටහිණි. ඒත් එම කථා කලාමැදිරි ඇල්ලීමට බාදාවක් නොවිය.
කලාමැදිරියන්ට වඩා රැබදුල්ලන් ලෙස හැදින්වූ පණුවන් විශේෂයක් අපේ හිත් තදින්ම පැහැර ගත්හ. ළදු කැලෑ හා බඩවැටි වල බිම රාත්‍රියට මැණික් ගල් මෙන් එළිය විහිදුවන  මොවුන් දැකිය හැක. අදුර වැටුණු පසු කොල්ලන් සමග ජෑම් බෝතල් වැනි විදුරු බෝතල් රැගෙන අපි මේ චමත්කාර ජනක සතුන් සොයා යන්නෙමු. අපේ වාසනාවට කිසිදිනක සර්පයෙක් හෝ ගෝනුස්සෙක් දෂ්ට කර නැත. අප ප්‍රදේශයේ සර්පයන් බහුලව නොසිටීමත් අපි දෙතුන් දෙනෙකුගේ සෙරෙප්පු ශබ්ද වලට සතුන් මග හැර ගියා වෙන්නටත් බැරි නැත.
සමනළ දඩයම්
සමනළයන් ඇල්ලීමද නැගලම ගිය ජොලි වැඩකි. අපිට විනෝදයක් වුවත් බොහෝ සමනළයන්ට අත්වුයේ භයානක ඉරණමකි. බොහෝ සමනළයින් මියගියා හෝ තටු කැඩී කුහුබුවන්ගේ ගොදුරක් බවට පත්වුහ.ගස් වල කොළ අතු කඩා ගන්නා අපි සමනළයින් පසුපස පන්නා ඒවායින් පහරදී සමනළයින් අඩපණ කොට අල්ලා ගතිමු. මොවුන්ගේ පිහාටු වල ඇති අළු වැනි ද්‍රව්‍ය අතේ ගෑවුණු විට ඔවුන්ට තවත් පියබා යාමට නොහැකිවේ. මේවා පොඩි කාලයේ නොදන්නා කමට කරපු තක්කඩි වැඩ කියලා දැන් සිතෙනවාය.
සතෙකුට උවද හිංසාවක් කිරීම අනුමත කළ නොහැකිය. අපිට මෙන් සතුන්ටද ජීවත්වීමට අයිතියක් ඇත.මෙය කැම්පස් එකේ වගේ උප සන්ගිස් කුරුතියක්ය කියා පොඩි උන් පාරට බැසිය හැකිය, ඒ නිසා ඒ සම්බන්දව වැඩි දුරට කිසිවක් නොලියමි. සෑම පුද්ගලයෙකුටම සමාන අයිතිවාසිකම් ඇත. ඒත් නවකයෙක් නම් එහෙම වෙන්නේ නැත.තේරුම් ගත නොහැකි සත්‍ය එයයි..
මාල ගිරව්, මයිනෝ පැටව් හා සැළලිහිණි
ගිරවුන්ට මයිනන්ට මෙන්ම සැලයන්ටද ගෙදරක ඇති කරනවා නම් කථා කිරීමේ හැකියාව ලැබේ. එහෙත් කූඩු කර සිටින සතෙකුගේ හා වනාන්තරයේ සිටින සතෙකුගේ විශාල වෙනසක් ඇත.
එකල කරූ අයියලාගේ ගෙදර ගිරවෙක් සිටියේය. කූඩුවක දමා සිටි මූ හොදින් කථා කරයි.
“පෙත්තා බත් කෑවද” යයි ඇසු විට
“පෙත්තා බත් කෑවා” යයි කියයි.
 මෙවැනි ගිරවෙක් මටත් හිටියනම් යන ආශාවක් පුංචි මගේ සිතේ ඇති විය. මේකා තව ටිකක් ලොකු උනාම පැටියෙක් දායි කියා මම සිතුවෙමි.
“මාමේ ගිරවා පැටියෙක් දැම්මම මට දෙන්ඩ” කෝකටත් මුළින්ම කියල තියන එක හොද නිසා කරූගේ තාත්තාට කීවෙමි.
“පැටව් දාන්ඩ දෙන්නෙක් ඕනෙ” කරුවා පණ්ඩිත වදන් කියයි.
“යකෝ දෙන්නෙක් ඉන්නවා නම් පැටව් මොකටද,මම අනිකා ගන්නවනේ” මම කිව්වෙමි.
පේර ගහයට ගෙදර ජයන්තලාගේ අහ මයිනෙක් සිටියේය. කුණු හරුප පවා කියන මේකා කූඩුවක් ඇතුලේ නොව නිදැල්ලේ ගේ පුරා යයි.පොඩි ප්‍රශ්නයකට තිබුනේ  නිවස ඇතුළේ ද  කක්කා දමන එකයි .ඒත් පේර ගහයට ගෙදර අයටනම් එය ප්‍රශ්නයක් නෙවෙයි වගේය. මේ ගෙදර අයියා කෙනෙක් ගස් කැපීම ජීවිකාව කර ගත්තෙකි.
“අයියේ මටත් මයිනෙක් හොයල දෙන්ඩ” ඔය ගේ ළගින් යනකොට හෝ කොහේදී හරි දැක්කොත් මගේ එකම ඉල්ලීමයි.
“ලබන සතියේ ගස් කපන කොට හම්බුනොත් දෙන්නම්”
ඔය ලබන සතිය ආවේ මාස කිහිපයකටත් පහු වෙලාය. තටුවත් හරියට ඇදී නැති සැලයෝ පැටව් දෙන්නෙක්ම ලැබුණි. මව හා පියානෝ කොච්චර කෑගැසුවත් මාරි පෙට්ටියක කුඩා සිදුරු විද ඔවුන්ට කූඩුවක් හැදුවෙමි. කෙසෙල් කන් පොඩිකර කැවීම හා ග්ලුකෝස් වතුරට කලවම් කර පෙව්වේ ඉක්මණින් ලොකු කර ගැනීමටයි.
සති දෙකක් පමණ හොදින් සිටි සැළලිහිණියන්ගේ පිහාටුද මෝදු වෙමින් තිබිණ.දිනක්  හිටි හැටියේම සතුන් දෙදෙනාම මිය ගොස් සිටියේය. ඉන්පසු සතුන් ඇති කිරීමට තීබු ආශාවද මැකී ගියේය.
මෙන්න දෙවෙනි සේවයේ පැරණි කථාවක්
මේක මගේ කතාවක් නෙවෙයි ඉස්සර අහල තියෙන ගිරව් ගැන ලියන කොට මතක් වුන කථාවක්.
ඔන්න කූඩුවක ගිරව් ජෝඩුවක් ඉන්නවලු. දැන්මේ ගිරව් ජෝඩුවගේ අයිති කාරයට හෙන ප්‍රස්නයක්ලු. මොකද ගෙදෙට්ට බල්ලෙක් ආවත් අහනවලු
 “අයියේ අර කූඩුවේ ඉන්න ගිරව් දෙන්නගෙන් පිරිමි සතා මොකාද?
නැත්නම් ගෙදෙට්ට එන එකෙක් අහනවලු  “මල්ලි මුන් දෙන්නගෙන් ගෑනු සතා මොකාද” කියලා.පොරත් මල අතේ තියාගෙන කල්පනා කරනවලු මේ පස්නෙට උත්තරේ.
මෙතෙන්දි මම පොඩි ඇඩ් එකක් දානවා, ගොඩක් කුරුල්ලන්ගේ මාළුවන්ගේ ගැහැණු සතාට වඩා පිරිමි සතා ලස්සණයි, එක පාරටම මොනරයි සෙබඩයි මතක් වෙනවා නේද? අනිත් කුරුල්ලන්ගෙත් ඔය සිද්දියම තමයි, පිරිමි සතා ලස්සනයි. දැන් මේ පෝස්ට් එක කියවන ගැහැණු දරුවෝ කලබල වෙන්ඩ එපා ඔය කථාව මනු සතුන්ට අදාළ නැ.
දැන් ආයෙත් කථාවට එමු. දැන් මේ මනුස්සය යාළුවෙක් හම්බවෙලා මේකට උපදෙසක් ඉල්ලුවලු.
“මචං ගිරව් දෙන්න ආදරේ කරනකොට උඩ ඉන්න එකා තමයි පිරිමි සතා, යට ඉන්නේ ගෑණු සතා” කියල යාළුව කිව්වලු.
 දැන් අපේ ගිරව් අයිති යාළුවා හරි සතුටින් ගෙදර ආවලු. ඇවිත් තමන්ගේ උපදේසකය කියපු විදියට ගැහැණු පිරිමි බව හොයා ගත්තලු. ඒත් ටික වෙලාවක් ගියහම ආයෙත් මුන් දෙන්නගෙන් පිරිමි සතයි ගැහැණු සතයි හොයා ගන්ඩ බැරිලු. පස්සේ ආයෙත් අර යාළුවා හොයාගෙන ගිහිං මේකට මොකද කරන්නේ කියල ඇහුවලු.
“හයියෝ ඕකත් එච්චර ප්‍රශ්නයක්ද, දෙන්න එකට ඉන්න වෙලාවක උඩ ඉන්න පිරිමි සතා අල්ලලා බඩ වටේ රෙදි පටියක් ගැට ගහපන්” කියල අනික් යාළුව කිව්වලු.
ප්‍රශ්නෙට උත්තරේ හොයා ගත්තට ගොඩක් සතුටු උන අපේ යාළුව පාරදිගේ හෙන ජොලියෙන් එනවලු. ඔය එන කොට පාර අයිනේ වැටිලා තිබුනලු ගැටිස්සියන්ගේ කොන්ඩේ බදින කළු රිබන් එකක්.
“ෂා මේක නියමයි මගෙ වැඩේට” කියල ඕකත් අහුලන් ගෙදර ආවලු. පස්සේ හොදට බලා ඉදල පිරිමි සතාව අල්ල ගත්තලු. පස්සේ කූඩුවෙන් එළියට අරං අර කළු රිබන් එක බඩ වටේ බැන්දලු.එහෙම බදිත්දී ගිරවත් සද්ද නැතුව හිටියලු, මොකද ඌටත් තේරෙන්ඩ ඇතිනේ තමන් කර කර හිටපු වැඩේ. දැන් අපේ යාළුව ගෙදෙට්ට එන හැමදෙනාටම පෙන්නනවලු “ආන්න අර බඩ වටේ කළු පටියක් බැදලා තියෙන්නේ පිරිමි සතාගේ” කියලා.
මෙහෙම ටික දවසක් ගියාලු. දවසක් පල්ලියේ සුවාමි ආවලු අපේ යාළුව හම්බ වෙන්ඩ, ගිරා ජෝඩුව ළගටත් ගිහිං බැලුවලු.
පස්සේ කූඩුවේ හිටපු ගිරව අපේ යාළුව නිර්වස්තර කරාලු පාදර් ඉස්සරහා මෙන්න මෙහෙම දේශනා කරලා,
“හා හා මට හිතා ගත්තහැකි ඔය කළු පටියක් බැදලා තියෙන්නේ මොකද කියලා, ඔයත් අහූඋනා නේද මම වගේ” !!!....
  --------------- ============= ------------=========== -----------  
“එහෙනං ගිහිං එන්නම්,කොල්ලෝ කෙල්ලෝ හැමෝම  මූඩ් ගහන්නේ නැතුව ෆුල් ෆන් එකේ ඉන්ඩ ඕනේ හොදේ”....
මම ගං කුකුළා.



Monday, May 9, 2016

හයියෝ වාසු

හයියෝ වාසු

කවුරුත් කලබල වෙන්ඩ එපා අපේ ගරු අහවල් හිටපු  ඇමතිතුමා{සුද්ද සිංහලෙන් දියවන්නාව ගද ගැස්සුවේ]  ගැන ලියන දේසපාලන පෝස්ට්එකක් නෙවෙයි.මේක උනේ අපේ යාලුවෙකුට මුගේ නමත් වාසුදේව ගමනායක  ගමේ හිටපු හොද මනුස්සයෙක්,මිනී මරපුව ඒ විදියටම වීඩියෝ කරලා පෙන්නන අද කාලේ අවුරුදු දහපහලවකට කළින් වුන සිද්දියක් ඒ මනුස්සයාගේ අනුදැනුමකින් තොරව මගේ බ්ලොගේ කතෘ කාරකෙන් ලිව්වයි කියල ගැටළුවක් වෙන්ඩ විදියක් නෑ.{ඇම් අයි රොන් ගයිස්}
තවම ජොබ් එක හරිගියේ නැද්ද” කන්ඩ අදින්ඩ දෙන අම්මල තාත්තලට වඩා ගමේ මිනිස්සු අපි ගැන හොයල බලනවා. රස්සාවක් නැතුව ගෙදරට වෙලා ඉන්න එක දෙමව්පියන්ට වඩා බරක් වෙන්නේ ගමේ මිනිස්සුන්ට. කඩේකට ගියත්,පංසලක් පල්ලියකට ගියත් අහන්නේ රස්සාව ගැන, ලගදි බැන්දනම් අහන්නේ තවම බබාල නැද්ද කියල. මටනං මල පනින්නේ හිස් මුදුනෙන්ම.
“අළුත් ආණ්ඩුවෙන් හැම ගමකටම ගාමන්ට් එක ගානේ දානවලු ගිහිල්ල මැම්බර් මහත්තයට කථාකරලා බලන්ඩ” මන්ත්‍රිලගේ පස්සේ යන වුන් උපදෙස් දෙනවා මුණට. ඒත් හිතේ තියෙන්නේ ඉස්කෝලේ ගිහින් විබාග පාස් කරාට මේකා තාමත් ගෙදර කියල. ඒක තමයි ගමේ සිංහල මිනිස්සුන්ගේ වසර දෙදාස් පන්සීයක ඉතිහාසයෙන් සන්ස්කුරිතියෙන් ඇට ලේ මස් වලට කිදා බැහල තියෙන්නේ.දවසට දහපාරක් පන්සිල් ගත්තත් මයිත්‍රී බාවනාව කරත් වැඩක් නැ. ක්‍රෝදය, ද්වේශය, වයිරය පිරිලා.
කොරියා යන්ඩ බාසා විබාගෙත් ලියල අනෙක් සහතිකවල පිටපතුත් ඒජන්සියට දීල තිබුණත් ඒජන්සියෙන් කිසිම දැනුම් දීමක් නැතුව ගෙවිලා ගිය මාස කිහිපය අවුරුදු ගානක් වගෙයි දැනුනේ.රස්සා කීපයක් කරත් ලංකාවේ ඉදල හරියන්නෑ, මේ රට කවදාකවත් දියුණූවෙන්නේ නැ, ලංකාවේ මිනිස්සු මහ කුජිත කොට්ටාසයක් කියල හිතපු ඒ වගේම එහෙම මිනිස්සු වැඩිපුර ආස්සරේ කරන්ඩ ලැබුණ නිසා රස්සාවකට ගියත් මාස කීපයකට වඩා එකතැන වැඩකරගෙන ඉන්ඩ ලැබුණේ නෑ.
 තේ හදන එකාගේ ඉදල මැනේජර්ලා එක්කත් ඇරගත්තේ අර පාට කණ්ණාඩියෙන් මිනිස්සු දිහා බලපු නිසා වෙන්ඩ ඇති. සමහර සිද්දි මතක් වෙනකොට හිනහත් යනවා සමහර දේවල් වලට තවමත් ඇගේ මාළු නටනවා මතක් වෙද්දී. ඉංජිනේරු සර් ලටයි තෙල් බොයිලේරුව පත්තුකරන හැටි නොදන්න මැනේජර්ල්යි හිටපු කොම්පැණියක ලිපිකරු රස්සාවකට ගිහිං පියන්ගෙන් ගේම ඉල්ලුවේ තේ එක මේසෙට ගේන්නේ නැති නිසයි. අනික් උන්ට තේ දීල “සැර් තේ බොන්ඩ” කියල ඔලුව කසල මූ දෙකට තුනට නැමෙනවා. මගේ මේසේ ගාවින් යන ගමන් “වාසු මහත්තය තේ බොනවද” කියල අහන්නේ “නෑ දැන් ඕනෙ නැ බණ්ඩාර” කියල මගේ කටින් කියව ගන්ඩ කියල මම දන්නවා. ටික දවසක් යනකම් මුගේ මේ බයිලාව මම ඉවසන් හිටිය. සමහර දවසට කෝප්ප නැ තවත් දවසකට “වාස් මහත්තය මට ලොකු මහත්තය ඉක්මණටම බැංකුවට ගිහිං එන්ඩ කිව්වා” කියල මාරු වෙනවා. ජොබ් එකට ගිය අළුත ගණන් නොගෙන හිටියත් සතියක් විතර ගිහිනුත් මේකාගේ කිරියාකලාපය හරිගියේ නැතිනිසා ලොක්කොයි සොක්කොයි ඔක්කොමල ඉන්න වෙලාවක කාර්යාල කාර්ය සහායක කෙනෙක්ගේ ජොබ් රෙස්පොසිබිලිට්යිස් මොනවාද කියල මතක් කරලා දුන්න.
රට රස්සාවට යන්ඩ හැම දෙයක්ම සුදානම් කරගෙන විබාගෙත් පාස් වෙලා තිබුණත් මාස දෙක තුනත් ගියත් කිසිම තොරතුරක් ලැබුනේ නැ. ඒජන්සියට කථාකරත් තවම විසා එවල නැ මේ දවස් වල කොරියාවේ නිවාඩු කාලයක් වගේ දේවල් තමයි අහන්ඩ ලැබුණේ.ඉවසපන් හදවත කියල යටි හිත කියද්දි තව එකෙක් “ඔය ඒජන්සිය හොර එකක් උබේ සල්ලිත් නැතිවෙයි බලාගෙන හිටපං උබට රට නෙවෙයි යන්ඩ වෙන්නේ හඃ හඃ හාආආ” එකෙක් හිනා වෙනවා. හිතන්ඩ එපා ඒ ගමේ ඉන්න බුලත් විට කකා කෝපි කඩේ දාන් අදින සුටිං මාම හරි අනුන්ගේ දේවල් හොය හොයා යන මැගී ආච්ච් කියල මේ බුතයෙක් මු ඉන්නේ මගේ ඇග ඇතුළේ, හදිස්සියක් උණාම නැත්නම් නැත්නම් ගොඩක් වෙලා කල්පනා කරනකොට මේකා එළියට එනවා. පිටවුන් කියන දේවල් මේ කනින් අහල අනිත් කනින් එළියට දැම්මත් තමන්ගේ ඇග ඇතුළෙන් දැනෙන දෙයක් එක පාරටම අයින් කරලා දාන්ඩත් බෑ.
ඇත්තටම මට රට යන්ඩ බැරි වෙයිද?ඒජන්සිකාරයෝ කරන්නේ බොරුද?මම කොහොමද ගමේ මිනිස්සුන්ට මුහුණ දෙන්නේ? හැමෝම මට හිනා වෙයි!
වාසුගේ මියගිය සිරුර සොයා ගැනුණේ වැවේ පාවෙමින් තිබියදීය. බලාපොරොත්තු සුන්වූ ඔහු ජීවිතය කෙළවර කර ගත්තේ කිසිවෙකුටත් නොදන්වා රහසේමය. නිහඩ චරිතයක්වූ වාසු ඔහුගේ නිහඩ බව නිසාම කිසිවෙකුගේවත් උපදෙසක් හෝ පිළිසරණක් නොපැතුවේය. වාසුගේ බලාපොරොත්තු කඩවීම නිසා ජීවිතය නැතිකර ගැනීම අනුමත කළ නොහැක. එහෙත් එකෙක්ව පාගා හෝ කකුලෙන් ඇද වැට්ටවීමට මාන බලන කුහක සමාජයක ජිවත් වනවාට වඩා මරණය සැපකයි විටෙක සිතේ.