Saturday, February 13, 2016

පැටියා කාලේ 02 මාළු ඇල්ලීම

පැටියා කාලේ 01 බලන් එන්ඩ   

මාළු ඇල්ලීම


මුලින්ම අපි මාළු ටැංකියක් හදා ගත්තා මෙන්න මේ ආකාරයට , මිදුලෙ ටිකක් ඈතට වෙන්ඩ තිබුණ මිදුලට වඩා තරමක් උස තැනක බිමසුද්ද කරලා අඩියක් විතර ගැබුරට අඩිදෙකක් විතර විස්කම්බයක් තියන විදියට වලක් හාර ගත්තා. පස්සේ හොදින් වල පරික්සා කරා කැපුණු මුල්වගේ තියුනු දේවල් තියනවද බලන්ඩ,
ඒ මොකටද දන්නවද? ඔය වල ඇතුළට ඊළගට පොලිතින් කවරයක් දාන්ඩ ඕනෙ, ඒක ටිකක් ගනකම වැඩි එකක්නම් හුගක් හොදයි.
ඉටි කොලේ අතුරලා ටැංකියේ පොළොව මට්ටමේ තියන ඉටි කොලේ වහෙන්ඩ පිඩලි අල්ලන්ඩ ඕනේ,
එතකොට ටැංකිය ඇතුල් පැත්තට ??
ඇතුලට රොන්මඩ තමයි දාන්නේ ඒවයේ මාළුන්ට කන් ඩ කෑම තියනවා කියල චිනි අයිය තමයි මට කිව්වේ,
ටිකක් මහන්සිඋනොත් ටැංකියේ ඇතුලටත් පස් දාල ඉටිකොලය පේන්නේනැති වෙන්ඩම හදාගන්ඩ ත් පුළුවන්.කොහොම හැදුවත් පොළොවේ මට්ටමෙන් ටිකක්වත් උස තැනක හැදුවේ නැත්නම් වතුර මාරු කරනකොට අමාරුවෙනවා.

                                               (මේක ගූගල්ගේ මං හදපු එකට ටිකක් සමානයි.)



ඔන්න මගෙ ටැංකියේ වැඩ ඉවරයි, මගේ ටැංකිය වගේ නෙවෙයි චිනි අයියගේ ටැංකිය එයා හැදුවේ සිමින්තියෙන්,
ඉස්සරහ පැත්තට විදුරුවක් දාල ලස්සනේ බැ, එයාටනම් මොකද තාත්ත මේසන් බාස් කෙනෙක්නෙ.
කෑලි කෑලි වෙනම හදල පස්සේ එකට සම්බන්ද කරා කියලයි එයා කියුවේ, මගෙ ටැංකිය වගේ නෙවයි මේකට හදපු ගමන් මාළු දාන්ඩ බැ, සිමින්ති සැරට මාළු මැරෙනවා,
දවසක් මම චිනි අයියලාගේ ගෙදර යනකොට චිනි අයිය කපල දාපු කෙසෙල් ගහක් පතුරු ගහනවා
චිනි අය්යේ මොකටද ඔය කෙසේල්කොටේ සුද්ද කරන්නේ?
ඔයා තනියම දුන්නක් හදාගත්තද?
මටත් එකක් හදල ඕනේ, මම කිවුවා, මම හිතුවේ මෙයා දුණු සෙල්ලම් කරන්ඩ හදනවා ඇති  කියල, අපි දුණු හැදුවේ පේර කොටු වලින් ඊතලවලට ගත්තේ කෝපි කෝටු.
කෙසෙල් කොටයක් කන්ඩියකට හෙත්තුකරලා මුලින්ම අඩි විස්සක් විතර ඈතින් ඉදලා ඉලක්කෙට විදිනවා, ඊට පස්සේ ටිකටික දුර වැඩි කරනවා. වෙන කොල්ලො කවුරුත් හිටියේ නැත්නම් මේ සෙල්ලමෙන් දිනන්නේ මටවඩා අවුරුදු දෙකක් විතර වැඩිමල් චිනියා,
දුණු විදින්ඩ ගිහිල්ල තව පොඩ්ඩෙන් මාළු කතාව අමතක වෙනවා සොරි වෙන්ඩ ඕනේ හොදේ,
ඉතිං මගෙ ප්‍රශ්නෙට චිනි අයිය කිව්වේ එයාගේ මාළු ටැංකියට දාන්ඩයි මේ කෙසෙල් කොටේ සුද්ද කරන්නේ කියල.
“ඒ මොකටද කෙසෙල් පතුරු ටැංකියට දාන්නේ කෙසෙල් පතුරු කහට වැදිලා ටැංකිය සවුත්තු වෙයිනෙ” මම කිව්වා.
නැ මල්ලි කෙසෙල් පතුරු වලට සිමින්ති සැර යනවලු, අපේ තාත්ත කිව්වේ කෙසෙල් පතුරු දාල ටැංකියට වතුර පුරවල සතියක් විතර වහල තියන්ඩ කියල.
ඔහොම සතියක් විතර කෙසෙල් පතුරුයි වතුරයි දාල තියල සතියකට  පස්සේ වතුරයි කෙසෙල් පතුරුයි අරන්දාල ටැංකිය හොදට හෝදල ආයෙත් වතුර පුරවල සතියක් විතර තියන්ඩ ඕනේ, හැබැයි වීදුරුව තියන පැත්තේ හරි ටැංකියේ ඇතුල් බිත්තියේ දියසෙවෙල බැදිලා තියනවනම් ඔන්න ටැංකිය පදම්වෙලා, දැන් මාළු දාන්ඩ පුළුවන්, ඒත් කෝ මාළු ????
අපි මාළු අල්ලන්ඩ ගියේ මෙහෙමයි
මුලින්ම අඩිය අල්ලපු බත් මුට්ටියක් හොයා ගන්නවා, කිරිබත් හදපු දවසක්නම් නියමයි කිරිබත් කණ්ඩ දන්ඩි පැටව් හරිම පෙරේතයි.
තවත් දෙයක් නැතුවම බැ ඒතමයි පරණ චිත්තයක් ගොඩක් වෙලාවට අපේ දර මැස්සේ පරණ රෙදි උරෙන් මම රෙද්දක් හොයා ගන්නවා, දැන් අල්ලන මාළු ගේන්නේ කොහොමද? ඒකට ජැම් බෝතල්, ලස්ප්‍රේ ටින් ගෙනියන්ඩ ඕනෙ.
දැන් හරි යමු මාළු අල්ලන්ඩ,
මුලින්ම ඇල ළගට ගිහිං වැඩි සද්දයක් නැතුව ටින් බෙලෙක්ක ටිකට වතුර පුරවා ගන්ඩ ඕනේ.
පස්සේ අර මුළින් කියපු මුට්ටිය ඇලඉවුරෙ ඉදං පුළුවන්තරම් ඈතට අත දිග්කරලා හෙමින් වතුරෙ යටයවන්ඩ ඕනේ, ඕකට දක්ෂය චිනි තමයි, මටවඩා අත පය දිගනිසා හැම දාම නිතරගයෙන් අවස්ථාව උදාකර ගන්නවා, ඊළගට විනාඩි කීපයක් සද්ද බද්ද නැතුව මාළු මුට්ටිය ඇතුළට යනකං හොදට බලංඉන්ඩ ඕනෙ, ඔන්න දැන් මාළු එකා දෙන්න මුට්ටියට එන්ඩ ගන්නවම මුලින්ම එන්නෙ දන්ඩි පැටවු, ඊළගට බුලත් හපයි, මඩ කනයි කෑදර උනාට මුට්ටියට එනවා අඩුයි, තල්කොස්සෝ හිටියොත් එනවා, ඒත් උන්ට අනික් මාළුන්ට වඩා වේගයෙන් පීනන්ඩ පුළුවන් නිසා මුට්ටියෙන් අල්ලන්ඩ අමාරුයි,
මල්ලි මාළු තුන් හතර දෙනෙක්ම මුට්ටිය ඇතුලෙ ඉන්නවා හිමිහිට ගිහිං මුට්ටිය උස්සල මට දෙන්ඩ” චිනි කියනවා, මමත් පුළුවන් තරම් කකුල් ඈතින් තියල ගිහිං හිමිහිට මුට්ටිය උස්සල චිනිට දෙනවා, තල්කොස්සෝ, බුලත්හපයි ගොඩක් වෙලාවට පැන ගන්නවා, ඒත් දන්ඩි පැටව්නම් ඔහේ මුට්ටියෙ තියන බත් රසවැටිලා වගෙ ඉන්නවා,
චිනි මාළු පැටව් ටික අල්ලලා ටින්වලට දානවා, ඔහොම දෙතුන් පාරක් ඇල්ලුවම මාළුත් අපේ වැඩේ දැන ගන්නවා, “අපිට ඔය මිනිස්සුන්ගේ චයිනීස් ඕන නැ සත්තලන්” කියල මාළුවා තමන්ගෙ පෙම්බර මාලිට කියනවා,
අලෙ ඔව් අනේ එන්න සුදූ අපි අර ගල් තියන පැත්තට යමු කියල මාළුවා මාලිවත් කැන්දන් ඇලේ ඉහළට උඩුගං බලා පිහිනනවා,
අපිත් අපේ ටෙක් නික් වෙනස් කරනව, ගෙදරින් ගෙනාව රෙද්ද දිග කොන්දෙකේ දෙපැත්තෙන් අපි දෙන්නා අල්ලගෙන එක පොටක් වතුර යටින් අරන් අනෙක් පොට වතුර උඩින් අල්ලං අපිත් ඇලේ උඩහට හෙමින් යනව, ටිකදුරක් ගියහම ඇලේ පළල අඩු වෙනව,
ඔන්න ඔය වෙලාවට ගල් අස්සේ හැංගිලා ඉන්න මාළු බයකරල අපේ උගුලට අහුකරගන්ඩ වතුරට උඩින් අල්ලං ඉන්න පොට අතැරලා එකපාරටම ගල්ගෙඩියක් අරං ඉස්සරහට විසිකරනවා,
රෙද්දට මාළු ආවට පස්සේ හිමිහිට උඩට උස්සල ගන්ඩයි තියෙන්නේ. මෙහෙම අල්ලං එන මාළු මුලින්ම චිනිගේ විදුරු ටැංකියට දානව, ඊට පස්සේ අපි මාළු බෙදා ගන්නවා,
මෙහෙම අල්ලං එන මාළු ගොඩක් වෙලාවට වැඩි දවසක් ජිවත් වෙන්නේ නැ, බුලත් හපයි නම් දවසෙන් දෙකෙන් පරලොව යනව ඊළගට තල්කොස්සෝ ඊටපස්සේ දන්ඩි පැටව්, මඩකනයි තමයි අන්තිමට ඉතුරු වෙන්නේ,
ඒ කාලේ මේකට හේතුව හිතාගන්ඩ බැරි උනත් දැන්නම් හිතෙන්නේ වතුරෙ තත්වය මාළු මැරෙන්ඩ හේතු උනා කියලයි, ගලාගෙන යන ජලපහරක තියන ඔක්සිජන් ප්‍රමාණය ගොඩක් වැඩ්යි, ටැංකියේ වතුරෙ ඔක්සිජන් ප්‍රමාණය ගොඩක් අඩුයි, දිය යට පැලවෙන ගස් දාල තිබුණත් රාත්‍රියේදී ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ, ඇත්තටම වෙන්නේ රෑට වතුරෙ තියන ඔක්සිජන් ටිකත් ගස් වලට උරාගන්නා එක. අනිත් කාරණේ අපි දාපු කෑම බත්,පාන් කෑලි  ටැංකියේ පල්වෙන්ඩ ඇති, මාළුවෝ ටික මරුනහම අපි කාලයක් යනකං ආයේ මාළු අල්ලන්ඩ යන්නෙ නැ.
ඔන්න මගේ කථාව ඉවරයි මේකත් මාළු අල්ලපු කථාවක් තමයි, හැබැයි ටිකක් වෙනස් කථාවක් අපේ ලොකු අප්පොච්චිගේ පුතාගේ පවුලගේ නැන්දගේ ගමේ උන ඇත්තම සිද්දියක්ලු, සමහරවිට මේක ඔයාල කලින් අහල ඇති, කියවල බලන්ඩකෝ එහෙනම්.



ඔහේල දන්නවනේ ඉස්සර හාමුදුරුවරු මස් මාළු කන්නේ නැහැනේ, ඒත් මේ හාමුදුරුවෝ දකිනවා පිංවතුනි තම පංසලේ කොල්ලා නොහොත් ඇබිත්තයා හා අවසේස කොලු රැල පංසල අසළ ඇති නදියේ ඉස්නානයට පෙර මාළු බානවා, ( යකෝ සාදු කියන්ඩ එපා බං, පර පණ නසනව කියන්නේ අපායට ෆ්‍රී විසා ලැබෙන වැඩක්)
මෙහෙම බාන ලද මසුන් ඉතා අලංකාර වැල්ලෙස එකට අමුණා ගන්නවා, මේ  මාළු  කොල්ලෝ තමන්ගේ ගෙවල් වලට ගෙනියන්නේ පංසල ඉදිරිපස ඇති දෙවට පාරෙනුයි, දෑතින්ම මාළු වැල් අරගෙන යන කොල්ලන්ව අපේ සුවාමින් වහන්සේට පෙනෙනවා පින්වතුනි, මේක දකින ස්වාමිට නෑ වැරදුනා ස්වාමින් වහන්සේට මසුන් අනුබව කරන්ඩ ආසාවක් ඇතිවෙනවා පින් වතුනි
දැන් ඒ ස්වාමින්වහන්සේ මෙන්න මේ ආකාරයට පංසලේ කොල්ලට දෙසනාකරනවා,
බොල හරකෝ බලපන් අර කොල්ලෝ නාගෙන යන විදිය, හෙට එනකොට අදවගේ ඇට දෙක හොල්ල හොල්ලා එන්නෙ නැතුව අරුන් යනව වගෙ වර කියල.
ඇයි අස්පට්ද? මේන් මං ගියා!!!

පොටෝ එක ගූගල් අයියගේ!




50 comments:

  1. හෙහ් අද නං ඒ වගේ හාංදුරුවො නෑ
    කෙලිංම කියනව
    හෙට ඔය උපාසක ඇත්තන්ට නේ දානෙ..ඔය මස් ඩිංගිත්තක් එහෙම හදාගෙන ආවට කමන් නෑ කියල
    මස් වලට කැමතිම ප්‍රසිද්ධම හාමුදුරු කෙනෙක්ලු කුංකුණාවෙ හාමුදුරුවො.
    බණට වගේම මන්තර වැඩ වලටත් දස්සය
    හැබැයි මේ කාලෙ නෙවී.. බෝම කාලෙකට කලිං රජ්ජුරුවංනෙ කාලෙය කියනව නෙ. හැක්

    මාත් මාළු අල්ලල තියෙ බං ඒත් මතක නෑ උංට මක්කද කලේ කියල. ඔය විදියෙ ඉටි කවර පොකුණු හැදුව කියලත් මතකයි. ඒත් මාළු මැරුණද නැත්තං වෙන මක්ක හරි වුණාද කියල නං මතකයක් නෑ
    අපි ඇල්ලුවෙ සාරිගප්පි වැඩිපුරම
    ලස්සනේ බෑ බං උං.. පොල්ගහවෙල පොලිසියි ඉස්සරහ ඇලක් ගියා දැං නං හිදිල. ඕකෙ පොලිසිය තියන සාවිය ට වෙන්න සාරිගප්පි හිටිය ඕසෙට අපේ උංනෙ වැඩේම මාළු අල්ලන එක.
    හෙහ්. හැබැයි මට ඉක්මණටම එපා වුණ සබ්ජෙක්ට් එකක් ඕක..

    ReplyDelete
    Replies
    1. ඔය සාරි ගප්පි ඇලවල් වලට ආව විදිය දන්නවද? සාරි ගප්පියගේ ගැණු සතාගේ සාරියක් නැ, බඩ මහතයි, කැතයි(මොණරාගේ ගැණු සතාවගේ) මුන් ගොඩක් වෙලාවට ටැංකි වලින් අයින් කරලා ළගපාත තියන ඇළකට දොලකට දානවා.ඊට පස්සේ ඕසෙට බෝවෙනවා.

      Delete
  2. මස් මාලු නොකන හාමුදුරුවන් අපේ පැත්තේ හොයන්නවත් බෑ.. මාත් ගෙදර ටැංකියක් හැදුවා. සල්ලි දීලා මාලුත් ගෙනල්ලා ටැංකියට දැම්මා. මාසයක් විතර ආසාවෙන් වැඩේ කලාට පස්සේ එපා උනා..

    ReplyDelete
    Replies
    1. අතාරින්ට එපා, වැඩකරලා ඇවිත් මාළු ටැංකියක් දිහා බලං හිටියනම් හදවතට වගේම මොළයටත් හොඳයි.

      Delete
  3. ඔය මාළු ඇති කරන වැඩේ නං මාත් කාලයක් සැහෙන්න අසාවෙන් කල...එත් හිටපු ගමන් මාළු මැරෙන්න ගත්ත ඊට පස්සේ මන් වැඩේ අත්හැරිය.

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලාවට වෙන්නේ කෑම වැඩිවෙලා වතුර සවුත්තු වෙන එක. අපි නොහිතුවට වතුරේ තියන ගස් වැඩි උනාමත් රැට ඔක්සිජන් අඩු වෙලා මාළු මැරෙනවා.

      Delete
  4. මාළු හදන්ඩ මාත් ආසයි ඇතිලියෙයි ටැංකියෙයි දෙකේම

    ReplyDelete
    Replies
    1. රසට හදතැහැකිද? දවසක එන්නම්කෝ ගල් බෝතලේකුත් අරං.

      Delete
  5. මාළු හදන එක නම් ආසා හිතෙන වැඩ උනාට ටැංකිය සුද්ද කරන එකනෙ එපා වෙන්නෙ. අපෙ දිහත් ගුරාමි දෙන්නෙක් ඉන්න ලොකු ටැංකියක් තිබුනා, ඒත් ටැංකිය කඩන්න උන හින්දා උන් දෙන්නා දෙන්න සිද්ද උනා.

    ReplyDelete
    Replies
    1. ඒ එක ගුරාමියෙක් රැවුළත් කපාගෙන ලබ්බගෙ වෙඩිමෙ යාළු මනමාලිට ඇඳල උන්න කොකාකෝල බිබී...

      Delete
    2. ගුරාමිනම් හදන්ඩ කිසි ගේමක් නෑ, වතුර කොච්චර ජරා උණත් මැරෙන්නේ නෑ. මුං හුස්ම ගන්නේ වතුරේ යටින් නෙවෙයි. මතුපිට වාතයෙන්, හොදට බලා හිටියොත් පේනවා, උඩට ඇවිත් යනවා.

      Delete
    3. ඩ්‍රැකී,
      බි බි සී එකෙත් පෙන්නුවා කොකාකෝලා බිලා වෙරි උන එකම අසියානුවා කියලා. ඕ යෙස් !

      Delete
    4. දාහං පහක් කුකුළො...!

      Delete
  6. ඉස්සර විදුරු කැල්ලක් හම්බ උන ගමන් කරන්නේ සිමෙන්ති ලෑලි වටේට දාල මාළු ටැංකියක් හදන එක.. ඕක බාගෙට වේලීගෙන එනකොටම ගඟේ ගිහින් මාළු පැටවූ අල්ලන් ඇවිත් ටැප් වතුරත් එක්ක ඕකට දානවා.. පහුවෙනිදා උදේට බලනකොට ඔක්කොම මැරිලා.. :(
    මුල් කලේ හේතුවක් දන්නේ නා.. පහු පහු වෙනකොට ඉගෙන ගත්තා.. පස්සේ ඒ වගේ එක එක සයිස් මාළු ටැංකි දහයක් දොළහක් තිබ්බ ගෙදර..
    ඒ දවස්වල ගෝල්ඩ් ෆිෂ් ජෝඩුවක් රු.10/- ප්ලේටි ජෝඩුවක් 5යි.. ගඟේ මලු අතරට ප්ලේටි හරි ගෝල්ඩ් ෆිෂ් ජෝඩුවක් හරි දාගත්තා කියන්නේ පොරක් තමයි.
    පස්සේ පස්සේ ඒ ආශාව නිකම්ම නැතිවෙලා ගියා..

    ReplyDelete
    Replies
    1. ගප්පි ජෝඩුව රුපියල් දෙකයි. සාරි ගප්පි නං ටිකක් ගණං. කඩු දෙකේ ෂෝට්ටේල් රුපියල් පහයි. බ්ලැක් මොරිස්, ඒන්ජල්, ෆයිටර්ස්, ගොගල්අයිස්, තවත්...

      Delete
    2. මම සාරි ගප්පි ජෝඩුවක් රුපියල් 05ට අරන්තියනවා. ඒ දවස් වල ගැහැණු පිරිමි සත්තු අදුරන් නැ. ගොඩක් වෙලාවට පිරිමි සත්තු දෙන්නෙක් තමයි ගන්නේ සාරිය ලස්සන ගප්පි තෝරන නිසා.

      Delete
  7. අපිට නම් අපේ හිටපු පාලු ඔක්කොම දීලා දාන්න වුනා ටැංකි දෙකකුත් එක්ක.

    ඕකෙ හැදෙන ගොළුබෙල්ලෝ විසි කරන්න ගිහිල්ල මට වෙච්ච සීන් එකකුත් මම බ්ලොගේ ලිව්වා ගිය අවුරුද්දේ අග.

    ReplyDelete
    Replies
    1. මම ඒක දැක්කෙ නෑ, පස්සේ ගිහිං බලන්නම්. ගොලුබෙල්ලෝ වැඩිනම් ලුණු ටිකක් දාන්ඩ.

      Delete
  8. මං නම් තාමත් මාළු හදන වැඩෙට මනාපයි,පොඩි කාලේ නම් මාළුන්ට පැතුම්,සුරේශ් වගේ නම් දැම්මා,එ කාලේ අපේ ඉස්කොලේ ගාව ගෙදරක මාළු විකුණුවා,අපි ගිහින් මාළු ජොඩුවක් සල්ලි දීලා අරගෙන මාළු ජොඩු දෙකක් විතර උස්සනවා,සුපිරි කතාව සහෝ,
    ජයෙන් ජය,

    ReplyDelete
    Replies
    1. ස්තුති මචෝ, මම තැපැල් මාර්ග පාටමාලාවක් කොරා ( විහිළු නෙවි සිරාවටම, දැනට අවුරුදු බර ගානකට කලින්) පස්සේ අවිස්සාවේල්ලේ බටංගල තරුණසේවා පුහුණු මද්යස්තනේ කෝස් එකක් කරද්දී එතන විසිතුරු මත්සය පුහුණු කරපු සර් කාරය ෆිට් උනා, එතනින් ගොඩක්දේ ඉගෙන ගත්තා.

      Delete
  9. ලැජ්ජා වෙන්නේ මොකටැයි කෙල්ලෙක් උනත් මාත් පැටියා කාලේ වෙලේ මඩ කාලා මාළු අල්ලන් ඇවිත් තියෙනවා ... ඒ කතා දවසක ලියන්නම්

    ReplyDelete
    Replies
    1. ලියන්ඩ ලියන්ඩ අපි බලන්ඩ එන්නම්.

      Delete
  10. සිරා මතක ටිකක් බං. මං ඒ කාලෙ වෙලේ අයිනෙ ඕවිටේ හදපු පොඩි වලක ඔය ව‍ගේ මාළු ඇතිකළා. උං ඉන්නෙ දවසයි. පහුවදා යනකොට, උං ඔක්කොම වලේ ගැට්ටෙං ඇලට පැනල පීනල යන්ඩ ගිහිං...

    ReplyDelete
    Replies
    1. පීනලා ගිහින්ද? පාලන් කොක්කු ගිලලද? හැබෑටම මොකද ඔය කොක්කු මාළු අල්ලන්ඩ තනි කකුලින් හිටං ඉන්නේ?

      Delete
    2. ගෙම්බො පුවක් කැඩිල්ලට සෙට් වෙන නිසා. කොක්කු කතාවක් තියෙනව මං මෙතන ලියන්නං. මයෙ බ්ලොග් එකේ ලියන්න හිතෙන්නෑ. හැබැයි ඒකෙ පද පෙරළගෙන තේරුම් ගැනීම ගැන මං වගකියන්නෑ.

      ඕං කොක් දූපතේ කොකෙක් පණ අදිනවලු. ඕක හැමතැනම ප්‍රසිද්ධ වුනාලු. රටේ රජතුමාගෙ දුවට ආසාවක් ඇති උනාලු ඒක බලන්ඩ. එයා රජතුමාට ගිහිං කිව්වලු. “පියාණනි, මං ජීවිතේට දැකල නෑ පණ අදින කොකෙක්, මට ඒක බලන්ඩ යන්ඩ අවසර දෙන්ඩ“ කියල. ඉතිං අවසර ලැබුණලු. ඒ ගමන එයා පිරිවරත් එක්ක ගියාලු බෝට්ටුවකිං.

      කොක් දූපතට යද්දි ඉස්සෙල්ලම හම්බවෙන්නෙ කොක් පාළම ඒකෙ ඉන්නව, පාළං කොක්කු, පටුවෙ කොක්කු, පම්පඤ්ඤවීදියෙ කොක්කු, පල්ලුපිටියෙ කොක්කු, පස්සින්නෙ කොක්කු, පාල කොක්කු, පලු කොක්කු, පට්ටං කොක්කු, පකිස් කොක්කු, පයිල් කොක්කු, පාවිලේ කොක්කු, පාරළේ කොක්කු, පනේ කොක්කු, පම්බු කොක්කු, පට කොක්කු, පරහෙ කොක්කු, පර කොක්කු, පත්තු කොක්කු, පල්ලු කොක්කු, පාච්චි කොක්කු, පන්ඩ කොක්කු, පරියන් කොක්කු, පත්මලේ කොක්කු, පබෙයි කොක්කු, පාසල කොක්කු... ඔය විදියට විවිධාකාර කොක්කු. එතනිං ගොඩ බැස්සහම තියෙනව කොක් පාවිල කියල තැනක්. ඒකට යාබදව පාක් එකක් තියෙනව. ඒ පාක් එකේ කොක්කු පාටියක් ලු. ඒ මැද්දෙ වැටිල ඉඳං අර නාකි කොකා පණ අදිනව අර කුමාරිකාවට දැකගන්න පුළුවං උනාලු. ඉතිං ඒක දැකල කුමාරිකාවට හරිම දුක හිතුනලු. එයා පිරිරට කිව්වලු, මේ කොකා අපි අරං ගිහිං රාජකීය වෛද්‍යවරයා වෙච්ච ලෙත්තෙ ට පෙන්නමු කියල. ඉතිං පිරිවර අර කොකා කරගහගෙන එන්න ගත්තලු. බෝට්ටු වෙං ඇවිත් ප්‍රධෘර ගොඩබිමට ගොඩ බැහැල, පයිම්ම අර කොකා අරං යනවලු ඉතිං. ඒ යනකොට අගනුවර පැත්තට යන කරත්ත කාරයෙක් හම්බුනාලු. ඉතිං අර කට්ටිය ඇහුවලු, “කොකා පටෝමුද?“ කියල. කරත්ත කාරය බෑ කිව්වලු.

      “මං මෙච්චර කාලෙයක් මේ කරත්ත රස්සාව කරනව. කිසි කෙනෙක් එක්ක කොක්කු පටෝල නෑ. මගෙ කරත්තෙ කොක්කු පටවන්න දෙන්නෑ“ කියල ඌ කිව්වලු. ඒගමන කුමාරි කිව්වලු. “කොකා පටවන්න බැරිනං කමක් නෑ. හැබැයි කොකාට පාට් දාන්න එන්න එපා.“ කියල.

      කොහොම හරි කට්ටිය කොකා අරං ගිහිං පෙන්නුවලු රාජකීය වෛද්‍යවරයට. ඒ කියන්නෙ ලෙත්තෙට. ඌ කොකා චෙක් කරද්දි දැක්කලු, කොකාගෙ පපුව නෑ කියල. ඒක දැකල බයවෙච්ච ලෙත්තෙ, හූ කියාගෙන දිව්වලු.

      ඔය ලෙත්තෙ ගෙයි තව යාලුවො තුංදෙනෙකුගෙයි ඔයිට වඩා කොට කතාවක් තියෙනව. පස්සෙ වෙලාවක ඒකත් කියන්නං.

      Delete
    3. හෙක් මරු කතාව ඕයි. ඕක මට දුන්නනම් පෝස්ට් කරනවනේ..

      Delete
    4. තැන්කු ඔබතුමාගේ දීර්ග කොමෙන්ටුවට,
      අපේ පැත්තේ ගෙම්බෝ කොක්කු කකුල් දෙකෙන් වතුරේ ඉන්නකොට ඔන්චිලි පදිනවා.

      Delete
    5. දාහං සිංහ මචං, දාහං...

      Delete
    6. කුකුලො,
      තව තියනව ඔය වගේ කතා... බ්ලොග් එකේ දාන්න හිතෙන්නෑ.

      Delete
    7. නොදා ඉන්ඩ එපා වැඩ කරලා ඔළුව මයියන් වෙලා තියන වෙලා වට බලල හිනාවෙලා ලේ පිරිසිදු කරගන්ඩ පුළුවන්.

      Delete
  11. අපිත් ඔහොම මාළු ටැංකි හැදුව දෙකතුනක්ම දැන් නම් සිමෙන්තියෙන් හදපු පොකුණු නැහැ ඉස්සර ඉඳලම තිබ්බ ටැංකි දෙකක් තියනවා.ඒකෙ දැන් සාරි ගප්පි තමා ඉන්නෙ අහ්හ් ලඟදි ගෙනාපු ෆයිටර්ස්ල පැටව දාල. මේ දවස් වල හරි සෝදිසියෙන් ඉන්නෙ.මාළු පැටව හැදුනට ලොකු වෙනකන් ජිවත් වෙන්නෙ ටිකදෙනයිනෙ ...

    ReplyDelete
    Replies
    1. පොඩි පැටවුට තම්බපු බිත්තර කහමදේ පොඩ්ඩක්, කපු රෙදි කෑල්ලකට දාල ටැංකියට මිරිකන්ඩ, පැටවූ වෙන්කරලා තියන්ඩ පුලුවන්නම් හොදයි.
      ටිකක් ලොකු උණාම "ආටිමියා" ( live feed ekak)දෙන්ඩ පුලුවන්නම් ලොකු වෙනකොට හොද පිග්මන්ටෙසන් එකක්( color of the body) බලා ගන්ඩ පුළුවන්.

      Delete
  12. මාලු පිස්සුව තිබුණා කාලයක් ම ................ ඕවා හරි සුන්දරයි බං...

    ReplyDelete
  13. ඕවා හදනවා වගේ නෙමෙයි බං සුද්ද කරන්න ගියහම.මාත් ඉස්සර හැදුවා ආසාවට.අස්කරන වැඩේ හින්දම එපාවෙලා අතෑරලා දැම්මා.ගේ ඉස්සරහා දිය ඇල්ලක් වගේ මියුරල් එකක් හැදුවා ඉස්කෝලේ 11 වසරෙදි.ඕකනම් හරියට ප්‍රයෝජනවත් වුනා රෑට ගෙදරට හොරෙන් එලියට පනින්න.ගෙදර කට්ටියට නින්ද ගියහම උඩතට්ටුවට ගිහින් ඕක දිගේ තමයි පනින්නේ...

    ReplyDelete
    Replies
    1. අනිවා, මචෝ .
      කුරුණෑගල පුවක්ගස් හන්දියේ තිබුණ බ්ලු ස්කයි කියල වෙඩින් හෝල් එකක්(දැන්නම් තියේද දන් නැ ) දිය ඇල්ල තියෙන්නේ තුන්වෙනි තට්ටුවේ ඉදලා දෙවෙනි තට්ටුවට, දවසක් බීපු එකෙක් ඕකෙන් පහළට පනින්ඩ හදලා එක කෙලියයි.

      Delete
  14. ඔන්න මමත් මේ පැත්තේ ආවා. දිගටම ලියන්න ..... ජයවේවා !

    ReplyDelete
  15. ඔන්න මමත් මේ පැත්තේ ආවා. දිගටම ලියන්න ..... ජයවේවා !

    ReplyDelete
    Replies
    1. මෙතුව දෙපාරක් ඇවිත්...

      Delete
    2. ඩබල් වෙල්කම් මේතු

      Delete
    3. ඩ්‍රැකී,
      ඩබල් වැදිලා හරි කොමෙන්ට් එකක් දැක්කම හිතට ෆුල් ෆිට්.

      Delete
  16. පොඩි කාලෙ නොතෙරුම් කමට කරපුව හරිම සුන්දරයි

    ReplyDelete
    Replies
    1. ගොඩක් සතුටුයි ආවට , මම ඔබගේ පොස්ට් ආසාවෙන් කියවනවා.

      Delete
  17. අප්පේ මාළුද :D පොඩි කාලෙ වෙල් අස්සෙයි බෝක්කු අස්සෙයි ඉදගෙන ඔය වෙල් දණ්ඩියොයි අරුන් මුන් අල්ලපු කාලෙ මතකෙට ආවා බන්.. රහට ලියලා තියනවා ඒ ටික..

    කතා දෙකක් සම්බන්ධ කරලා ලියද්දී අර මැද්දෙ පොඩි හැඳින්වීමේ කැල්ලෙ ෆොන්ට් කලර් එක වෙනස් කරපං.. එතකොට පටලගන්නේ නැතුව කියවන්න පුලුවන් බන්..

    ජය!

    ReplyDelete
    Replies
    1. අඩේ ඒ මොකක්ද? සිරාවටම ටියුබ් ලයිට් බං.

      Delete
    2. "ඔන්න මගේ කථාව ඉවරයි මේකත් මාළු අල්ලපු කථාවක් තමයි, හැබැයි ටිකක් වෙනස් කථාවක් අපේ ලොකු අප්පොච්චිගේ පුතාගේ පවුලගේ නැන්දගේ ගමේ උන ඇත්තම සිද්දියක්ලු, සමහරවිට මේක ඔයාල කලින් අහල ඇති, කියවල බලන්ඩකෝ එහෙනම්."

      මෙන්න මේ වගේ කතා දෙකක් සම්බන්ධ කරන ඡේදේ බන්

      Delete
    3. මං ඇවිත් බලන්නම්.

      Delete
  18. මේ සැරේ කුකුල් කොටුවට රිංගන්න ඩිංගිත්තක් late උනා.....

    ReplyDelete
    Replies
    1. නො පොබ්ලම් බොස්.

      Delete