Sunday, May 15, 2016

පොඩි කාලේ පිස්සු විනෝදාංශ


පොඩි කාලේ පිස්සු විනෝදාංශ
කුකුළාට පොඩිකාලේ ජොලියට කරපු වැඩ ගොඩක් තිබුණි. සමහර ඒවා බොහෝ පොඩ්ඩන් සාමාන්‍යයෙන් නොකරන ජාතියේ ඒවාය. එක කාලයකට රැය පුරා කලාමැදිරි පරිසරය ආක්‍රමණය කරති. අපි ඔවුන් අල්ලා ජෑම් බෝතල් වල දමා ගබඩා කාමරයේ හෝ ගේ පිළිකන්නේ හංගන්නේ වැඩිහිටියෙක් දැක්කොත් කෝටු පාර නොවරදින බව දන්නා නිසයි. අපි කලාමැදිරි පසුපස පන්නන විට එය දකින වැඩිහිටියන්
 “ඔවුන් අල්ලන්ඩ එපා කෑවොත් මුහුදේ මැටියි, හඳඒ පසුයි ගේන්ඩ වෙනවා වෙදකම් කරන්ඩ”
 යනුවෙන් කියන්නේ අප බය කිරීමටද නැත්නම් කලාමැදිරි කෑවිට කළයුතු බෙහෙතද කියා අපිට නොවටහිණි. ඒත් එම කථා කලාමැදිරි ඇල්ලීමට බාදාවක් නොවිය.
කලාමැදිරියන්ට වඩා රැබදුල්ලන් ලෙස හැදින්වූ පණුවන් විශේෂයක් අපේ හිත් තදින්ම පැහැර ගත්හ. ළදු කැලෑ හා බඩවැටි වල බිම රාත්‍රියට මැණික් ගල් මෙන් එළිය විහිදුවන  මොවුන් දැකිය හැක. අදුර වැටුණු පසු කොල්ලන් සමග ජෑම් බෝතල් වැනි විදුරු බෝතල් රැගෙන අපි මේ චමත්කාර ජනක සතුන් සොයා යන්නෙමු. අපේ වාසනාවට කිසිදිනක සර්පයෙක් හෝ ගෝනුස්සෙක් දෂ්ට කර නැත. අප ප්‍රදේශයේ සර්පයන් බහුලව නොසිටීමත් අපි දෙතුන් දෙනෙකුගේ සෙරෙප්පු ශබ්ද වලට සතුන් මග හැර ගියා වෙන්නටත් බැරි නැත.
සමනළ දඩයම්
සමනළයන් ඇල්ලීමද නැගලම ගිය ජොලි වැඩකි. අපිට විනෝදයක් වුවත් බොහෝ සමනළයන්ට අත්වුයේ භයානක ඉරණමකි. බොහෝ සමනළයින් මියගියා හෝ තටු කැඩී කුහුබුවන්ගේ ගොදුරක් බවට පත්වුහ.ගස් වල කොළ අතු කඩා ගන්නා අපි සමනළයින් පසුපස පන්නා ඒවායින් පහරදී සමනළයින් අඩපණ කොට අල්ලා ගතිමු. මොවුන්ගේ පිහාටු වල ඇති අළු වැනි ද්‍රව්‍ය අතේ ගෑවුණු විට ඔවුන්ට තවත් පියබා යාමට නොහැකිවේ. මේවා පොඩි කාලයේ නොදන්නා කමට කරපු තක්කඩි වැඩ කියලා දැන් සිතෙනවාය.
සතෙකුට උවද හිංසාවක් කිරීම අනුමත කළ නොහැකිය. අපිට මෙන් සතුන්ටද ජීවත්වීමට අයිතියක් ඇත.මෙය කැම්පස් එකේ වගේ උප සන්ගිස් කුරුතියක්ය කියා පොඩි උන් පාරට බැසිය හැකිය, ඒ නිසා ඒ සම්බන්දව වැඩි දුරට කිසිවක් නොලියමි. සෑම පුද්ගලයෙකුටම සමාන අයිතිවාසිකම් ඇත. ඒත් නවකයෙක් නම් එහෙම වෙන්නේ නැත.තේරුම් ගත නොහැකි සත්‍ය එයයි..
මාල ගිරව්, මයිනෝ පැටව් හා සැළලිහිණි
ගිරවුන්ට මයිනන්ට මෙන්ම සැලයන්ටද ගෙදරක ඇති කරනවා නම් කථා කිරීමේ හැකියාව ලැබේ. එහෙත් කූඩු කර සිටින සතෙකුගේ හා වනාන්තරයේ සිටින සතෙකුගේ විශාල වෙනසක් ඇත.
එකල කරූ අයියලාගේ ගෙදර ගිරවෙක් සිටියේය. කූඩුවක දමා සිටි මූ හොදින් කථා කරයි.
“පෙත්තා බත් කෑවද” යයි ඇසු විට
“පෙත්තා බත් කෑවා” යයි කියයි.
 මෙවැනි ගිරවෙක් මටත් හිටියනම් යන ආශාවක් පුංචි මගේ සිතේ ඇති විය. මේකා තව ටිකක් ලොකු උනාම පැටියෙක් දායි කියා මම සිතුවෙමි.
“මාමේ ගිරවා පැටියෙක් දැම්මම මට දෙන්ඩ” කෝකටත් මුළින්ම කියල තියන එක හොද නිසා කරූගේ තාත්තාට කීවෙමි.
“පැටව් දාන්ඩ දෙන්නෙක් ඕනෙ” කරුවා පණ්ඩිත වදන් කියයි.
“යකෝ දෙන්නෙක් ඉන්නවා නම් පැටව් මොකටද,මම අනිකා ගන්නවනේ” මම කිව්වෙමි.
පේර ගහයට ගෙදර ජයන්තලාගේ අහ මයිනෙක් සිටියේය. කුණු හරුප පවා කියන මේකා කූඩුවක් ඇතුලේ නොව නිදැල්ලේ ගේ පුරා යයි.පොඩි ප්‍රශ්නයකට තිබුනේ  නිවස ඇතුළේ ද  කක්කා දමන එකයි .ඒත් පේර ගහයට ගෙදර අයටනම් එය ප්‍රශ්නයක් නෙවෙයි වගේය. මේ ගෙදර අයියා කෙනෙක් ගස් කැපීම ජීවිකාව කර ගත්තෙකි.
“අයියේ මටත් මයිනෙක් හොයල දෙන්ඩ” ඔය ගේ ළගින් යනකොට හෝ කොහේදී හරි දැක්කොත් මගේ එකම ඉල්ලීමයි.
“ලබන සතියේ ගස් කපන කොට හම්බුනොත් දෙන්නම්”
ඔය ලබන සතිය ආවේ මාස කිහිපයකටත් පහු වෙලාය. තටුවත් හරියට ඇදී නැති සැලයෝ පැටව් දෙන්නෙක්ම ලැබුණි. මව හා පියානෝ කොච්චර කෑගැසුවත් මාරි පෙට්ටියක කුඩා සිදුරු විද ඔවුන්ට කූඩුවක් හැදුවෙමි. කෙසෙල් කන් පොඩිකර කැවීම හා ග්ලුකෝස් වතුරට කලවම් කර පෙව්වේ ඉක්මණින් ලොකු කර ගැනීමටයි.
සති දෙකක් පමණ හොදින් සිටි සැළලිහිණියන්ගේ පිහාටුද මෝදු වෙමින් තිබිණ.දිනක්  හිටි හැටියේම සතුන් දෙදෙනාම මිය ගොස් සිටියේය. ඉන්පසු සතුන් ඇති කිරීමට තීබු ආශාවද මැකී ගියේය.
මෙන්න දෙවෙනි සේවයේ පැරණි කථාවක්
මේක මගේ කතාවක් නෙවෙයි ඉස්සර අහල තියෙන ගිරව් ගැන ලියන කොට මතක් වුන කථාවක්.
ඔන්න කූඩුවක ගිරව් ජෝඩුවක් ඉන්නවලු. දැන්මේ ගිරව් ජෝඩුවගේ අයිති කාරයට හෙන ප්‍රස්නයක්ලු. මොකද ගෙදෙට්ට බල්ලෙක් ආවත් අහනවලු
 “අයියේ අර කූඩුවේ ඉන්න ගිරව් දෙන්නගෙන් පිරිමි සතා මොකාද?
නැත්නම් ගෙදෙට්ට එන එකෙක් අහනවලු  “මල්ලි මුන් දෙන්නගෙන් ගෑනු සතා මොකාද” කියලා.පොරත් මල අතේ තියාගෙන කල්පනා කරනවලු මේ පස්නෙට උත්තරේ.
මෙතෙන්දි මම පොඩි ඇඩ් එකක් දානවා, ගොඩක් කුරුල්ලන්ගේ මාළුවන්ගේ ගැහැණු සතාට වඩා පිරිමි සතා ලස්සණයි, එක පාරටම මොනරයි සෙබඩයි මතක් වෙනවා නේද? අනිත් කුරුල්ලන්ගෙත් ඔය සිද්දියම තමයි, පිරිමි සතා ලස්සනයි. දැන් මේ පෝස්ට් එක කියවන ගැහැණු දරුවෝ කලබල වෙන්ඩ එපා ඔය කථාව මනු සතුන්ට අදාළ නැ.
දැන් ආයෙත් කථාවට එමු. දැන් මේ මනුස්සය යාළුවෙක් හම්බවෙලා මේකට උපදෙසක් ඉල්ලුවලු.
“මචං ගිරව් දෙන්න ආදරේ කරනකොට උඩ ඉන්න එකා තමයි පිරිමි සතා, යට ඉන්නේ ගෑණු සතා” කියල යාළුව කිව්වලු.
 දැන් අපේ ගිරව් අයිති යාළුවා හරි සතුටින් ගෙදර ආවලු. ඇවිත් තමන්ගේ උපදේසකය කියපු විදියට ගැහැණු පිරිමි බව හොයා ගත්තලු. ඒත් ටික වෙලාවක් ගියහම ආයෙත් මුන් දෙන්නගෙන් පිරිමි සතයි ගැහැණු සතයි හොයා ගන්ඩ බැරිලු. පස්සේ ආයෙත් අර යාළුවා හොයාගෙන ගිහිං මේකට මොකද කරන්නේ කියල ඇහුවලු.
“හයියෝ ඕකත් එච්චර ප්‍රශ්නයක්ද, දෙන්න එකට ඉන්න වෙලාවක උඩ ඉන්න පිරිමි සතා අල්ලලා බඩ වටේ රෙදි පටියක් ගැට ගහපන්” කියල අනික් යාළුව කිව්වලු.
ප්‍රශ්නෙට උත්තරේ හොයා ගත්තට ගොඩක් සතුටු උන අපේ යාළුව පාරදිගේ හෙන ජොලියෙන් එනවලු. ඔය එන කොට පාර අයිනේ වැටිලා තිබුනලු ගැටිස්සියන්ගේ කොන්ඩේ බදින කළු රිබන් එකක්.
“ෂා මේක නියමයි මගෙ වැඩේට” කියල ඕකත් අහුලන් ගෙදර ආවලු. පස්සේ හොදට බලා ඉදල පිරිමි සතාව අල්ල ගත්තලු. පස්සේ කූඩුවෙන් එළියට අරං අර කළු රිබන් එක බඩ වටේ බැන්දලු.එහෙම බදිත්දී ගිරවත් සද්ද නැතුව හිටියලු, මොකද ඌටත් තේරෙන්ඩ ඇතිනේ තමන් කර කර හිටපු වැඩේ. දැන් අපේ යාළුව ගෙදෙට්ට එන හැමදෙනාටම පෙන්නනවලු “ආන්න අර බඩ වටේ කළු පටියක් බැදලා තියෙන්නේ පිරිමි සතාගේ” කියලා.
මෙහෙම ටික දවසක් ගියාලු. දවසක් පල්ලියේ සුවාමි ආවලු අපේ යාළුව හම්බ වෙන්ඩ, ගිරා ජෝඩුව ළගටත් ගිහිං බැලුවලු.
පස්සේ කූඩුවේ හිටපු ගිරව අපේ යාළුව නිර්වස්තර කරාලු පාදර් ඉස්සරහා මෙන්න මෙහෙම දේශනා කරලා,
“හා හා මට හිතා ගත්තහැකි ඔය කළු පටියක් බැදලා තියෙන්නේ මොකද කියලා, ඔයත් අහූඋනා නේද මම වගේ” !!!....
  --------------- ============= ------------=========== -----------  
“එහෙනං ගිහිං එන්නම්,කොල්ලෝ කෙල්ලෝ හැමෝම  මූඩ් ගහන්නේ නැතුව ෆුල් ෆන් එකේ ඉන්ඩ ඕනේ හොදේ”....
මම ගං කුකුළා.



18 comments:

  1. කුකුළෝ පොඩි කාලේ එඩ්නා චොකලට් වල ස්ටිකර් එකතු කරලා අලවපු පොත තාම මගේ ළග තියෙනවා........ ඒක නං පිස්සුවක්...... ඇයි මාලු පැටව් ඇති කරන පිස්සුව...... යකෝ ඇති අපි ඇලේ ගහගෙන ගියේ නැතුවා.....

    ReplyDelete
    Replies
    1. ඔය වගේ ස්ටිකර පොතක් මා ගාවත් තියෙනව බං.

      Delete
    2. මම මාළු අල්ලපු එක ගැන පොස්ට් එකක් ලිව්වා..ස්තුති කුරුටු...

      Delete
  2. කුකුලේ මට පොඩි කාලේ මුද්දර පිස්සුව තිබ්බ, පස්සේ එක අතැරලා දාල මාළු පිස්සුවට බැස්ස, පස්සේ එකත් අතැරලා බුක් මාර්ක් පිස්සුවට බැස්ස, බලන් ගියාම කුලුල ඒ කාලේ රියල් කුකුලේක්නේ.

    ReplyDelete
    Replies
    1. මමත් කඳනේ මුද්දර සමජෙකට සෙට් වෙලා තැපෑලෙන් මුද්දර,මුද්දර අලවන පොතක් එහෙමත් ගෙන්නාගෙන සරුවට වැඩේ කරන් ගියා ...

      Delete
  3. අපුරුයි..

    මේක කියවනකොට ගිරවෙක්ගෙ තව කතාවක් මතක් උනා...

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඒක ලියන්ඩ...

      Delete
  4. ඔය මුහුදෙ මැටි, හඳේ පස් කතාව කියන්නෙ රෑ බදුල්ලො කාපුවම.
    බොලත් හොඳ වැඩනෙ ඒ කාලෙ කරල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අපේ කාලේ වගේ දැන් ළමයින්ට සුන්දර අත්දැකීම් නැ ප්‍රසා..

      Delete
  5. කූරෝ අල්ලලා නූල් ගැටගහලා සරුංගල් වගේ යවනවා. පව් උන් පස්සේ මැරෙනවා. ඉබ්බන්ගේ පිටේ ඉටිපන්දම් පත්තුකරලා යන්න දෙනවා. දැන්නම් ඉබ්බෝ ඉන්නේ දොරවල් වල විතරයි වෙන්න ඇති. දූවිලි වගේ පස් යට හිටියා ටික්කෝ කියලා පොඩි සත්තු ජාතියක්. උන්ව අල්ලනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ටික්කෝ අල්ලලා ටින් එකක් උඩ තියලා පිට තදකරපුවහාම. උන් ඔලුව ගහ ගහගෙන යනවා ටින් එකට ඩ්‍රම්ස් ගහනවා වගේ සද්දේ. හීන් පස් අස්සේ ඉන්නේ බිංකුන්ඩෝ. උන්ව නටවනවා අල්ලේ තියාගෙන.

      බිංකුන්ඩෝ බොල බ්ංකුන්ඩෝ උඹත් නටාපිය මාත් නටන්නම්...

      Delete
    2. බත්කුරෝ දැන් පේන්ඩ නෑ, කෘමි නාශක නිසා වඳ වෙලා.ටික්කො නම් තවම ඉන්නවා.

      Delete
  6. පොඩි කාලෙ අත්දැකීම් සුපිරි කුකුල් ! හූ හූ ඔයත් අහුවුණා ද?

    ReplyDelete
    Replies
    1. පිච්චු ද අපි නම් අහුවෙයි,,හි හි...

      Delete
  7. මයිනෙ පැටියෙක් හරි සැලලිහිනි පැටියෙක් හරි හිටිය මටත්. කපුටො අරන් යද්දි බේරගෙන. සතියකින් විතර උදේ බලද්දි එයා මැරිලා. කලින් දවසෙ නිදාගන්න යද්දිත් හොදට හිටියා. ඒත් උදේ මැරිලා. ගොඩක් දුක හිතුනා එදා නම් :( :( :(

    ReplyDelete
    Replies
    1. දැන් නම් කැලේ කුරුල්ලෝ කූඩූ කරන් හදන්ඩ හිතෙන්නේ නෑ...ලව් බර්ඩ්ස්ල වගේ කුඩූ වල හදන කුරුල්ලෝ ඇර..

      Delete
  8. හි..හි.. අපේ ගෙදරත් ඉස්සර හිටියා කතා කරන්න පුළුවන් ගිරවෙක්...

    ReplyDelete
    Replies
    1. "තුෂානි බත් කෑවද " කියල අහන ගිරව නේද?

      Delete