
අපි දැන් ලොකු ළමයි කුකුළගෙ තුන
අපිත් දැන් ටිකක්
ලොකුයි, ඒ කිවුවේ අල කොලයක් හිල් වෙන්ඩ වගේම පොල්කට්ටක්
පිරෙන්ඩ චු කරන්ඩත් අපිට දැන් පුළුවන්. අපි මෙහෙම හිතුවට ලෝකයා ඒ
කිවුවේ මේ සමාජේ ඉන්න මිනිස්සු ඕව දන්නවය, මුන්දෑල හිතන්නෙම අපි පොඩි ළමයි කියල;
මේකට මොකද්ද ගන්න පියවර
කියල චිනි අයියයි මමයි කල්පනා කරා
“ලොකු මිනිස්සු සිකරට්
ගහනවනේ ,අපිත් හැමෝටම පෙන්ඩ ටව්මෙන් සිකරට් අරං හැමෝටම පෙන්ඩ බොමු” චිනිය දබර
අගිල්ලයි මැද ගිල්ලයි දික් කරලා කටට ලංකරලා සිකරට් එකක් බොනවා වගේ පෙන්නන ගමන්
කියනවා.
“පිස්සුද අපේ තාත්තා
දැනගත්තොත් දිමිගොටු දාල ගහයි.” එහෙම කිවුවේ මම,
අපේ පැත්තේ කෝපි ගස්
ඕසෙට තියනවා. ඔව්වයේ කළු කුබී වගේම දිමියොත් ඉන්නවා. ඔය දිමියෝ කෝපි ගස්වල කොළ එකට
සම්බන්ද කරලා ගෙවල් හදනවා, මේ කෝපි කොළ
එකට සම්බන්ද කරන්ඩ පාවිච්චි කරන්නේ මුකයේ ඇති
කේටය කියලයි මම හිතන්නේ, මං වැරදිනම් හදන්ඩ හොදේ. මේ දිමි ගොට්ටක්
වැරදිලාවත් අතේ ගෑවුනොත් ඒකෙ ඉන්න දිමියෝ ඇවිත් කනවා. දඟ වැඩක් කලාම අම්මල තාත්තල උඹට දිමිගොටු දාල ගහනවා
කිවුවට එහෙම කරපු බවක් නම් පොත් පත් වලවත් සදහන් වෙලා නැ,
කොහොම හරි දවසක් අපි
කඩේට ගිහිං සිකරට් දෙකක් ගත්තා, ගත්තා කිවුවට ගත්තම නෙවෙයි එතන සිද්ද උනේ බාන්ඩ හුවමාරුවක්,මුදලාලිට අපි පොල්ගෙඩි හතරක්
දීල සිකරට් දෙකක් ඉල්ලා ගත්තා.
දැන් බොලා හිතන්ඩ එපා
අපි පොල්හොරු කියලා, අපිනම් ඔය පොලිටික්කෝ වගේ දෙකයි පනහේ වැඩ එදා කරෙත් නැ, අද
කරන්නෙත් නැ,
මම කලින් කියලත් ඇති
නැත්නම් අහගන්ඩකෝ , චිනියලගේ තාත්තා මේසන් වැඩ වලට අමතරව පොල්වත්තක් මුරකරන එකත්
කළා. අන්න ඒ වත්තෙන් අපි පොල් අහුලලා කඩේට දෙනවා, දීල අපිට ඕනේ දේවල් ගන්නවා. මේ
බාන්ඩ හුවමාරුවෙන් ගොඩක් වෙලාවට වාසි උනේ කඩේ මුදලාලිට, ඒත් බිස්නස් එක ගැන
මුදලාලි අපේ ගෙවල් වලට පැමිණිලි කරයි කියන බය නිසා අපි මුදලාලිත් එක්ක ඇරගන්ඩ ගියේ
නැ.
දැන් අර කලින් කියපු
විදියට ගත්තු සිකරට් වලින් චිනියගේ එක ඌ කඩේ ලාම්පුවෙන් පත්තු කර ගත්තා, මගේ එක මං
සාක්කුවෙන් දාගත්තා, මට නිකං මොකද්ද මොකද්ද වගේ හන්දියේ ඉදං සිකරට් බොන්ඩ,
“ඉස්සරා වංගුව පහුවුනාම
මටත් උගුරක් දීපං” මං චිනියට කිවුවා.
වංගුව පහුවෙන්ඩත් කලින්
මං අරුගෙන් සිකරට් එක උදුරාගෙන කටට තියල ෂොට් එකක් ගහල දුම්ටික නිකං කෝච්චිය වගෙ
යැවුවා,
අම්මට හුඩු ගුණය වන්ගුවේ
අනික් පැත්තෙන් මතුවුණා. හුටා මු දැන් අපේ තාත්තට කියයි චිනිය හොදටම බයවෙලා, මටත් දිමිගොටු
ඇතුළේ ඉන්න ආරක්සක දිමියන්ගේ කකුළු අඩු වගේ තියන කකුල් මතක් උනා ,උන්ගේ කටවල් වල
තියන විස දියර මුළු ඇ ගටම වැටුන වගේ දැනුනා. මොනවා කරන්ඩද දැන් මු ගෙවල් වලට
කිවුවොත් අම්බානකට කන්ඩ වෙනවනේ. මට පොඩි අයිඩියා එකක් ආව.
“උඹලා සිකරට් බොනවා නේද
හිටපල්ලා හොද වැඩක්
කරන්නම් උබලා දෙන්නට, මම යනගමන් ගෙවල් වලට කියාගෙනම යන්නම්”
අපි සිකරට් බොන්නේ නැ,
මේවා මොනරහද කියල බලන්ඩ බිවුවේ, මම කාලක් වත් ඉවර වෙලා නැති සිගරට් එක පෙන්නමින්
ගුණයට කිවුවා.
“මෙහාට දීපං ඕක”
ගුණය සිගරට් එක උදුරා
ගත්තා.
ගුණේමාමේ අපි සිකරට්
බීපු බවක් කාටවත් කියන්ඩ එපා, ආ මේකත් ඔයාම තියාගන්ඩ” කියල සාක්කුවෙන් අරං මගේ එකත් දුන්නා. බිඩි බොන
ගුණපාලය සිගරට් එක ගත්තේ පතල් කාරයෙකුට නිල් කැටයක් හම්බුනා වගේ.
පහුවදා හවස වෙනකම් කිසි
අවුලක් උනේ නැ, ඒත් චිනියගේ තාත්තා වැඩ ඇරිලා ඇවිත් චිනියත් එක්ක ගේ වටේ දිවීමේ
තරගයක් ආරම්බ කිරීමත්, ජෝන් බාසා මුලුගමම අමතමින් තමන්ගේ පුතාගේ හා මගේ වැඩ ගැන
කියන කොට මට පොළොව පලාගෙන ගිහිං වැලලෙන්ඩ හිතුනා.
ගේ වටේ දුවල හතිවැටිලා
චිනියව අල්ලගන්ඩ බැරිවුණ තරහට මල් කෑර
කෝට්ටෙන් ලෑලි බිත්තියට තදින් පාරක් ගහපු
ජෝන් බාස් “මං තොට කිවුවේ නවතින්ඩ කියල, ඔහොම නවතියන්” අවසාන නිවේදනය නිකුත්කරා.
චිනියත් ඇරියේ නැ,
“ගහන්ඩද අපිව හැදුවෙ” මුත් ගමටම ඇහෙන්ඩ කැ
ගැහුවා.
මේ නාට්ටිය පෙන්නපු ජෝන්
බාස්ගේ ගේ තිබුණේ අපේ ගෙට උඩ කන්දෙ, මේක හන්දා අපේ අම්මට කේබල් චැනල් , රොයිටර්
චැනල් වලට නොගෙවා නොමිලේම නිව්ස් එක අහන්ඩ ලැබුණා.
අපේ අම්මට නිවැරදි
සාක්ෂි ඒ කිවුවේ ඇසින් දුටු සාක්ෂි නැති නිසාත් අපි එහෙම නරක වැඩ කරන ළමයි නොවන
නිසාත් කලින් මෙවැනි වැරදි කර නැති නිසාත් දීර්ග දේශනයකින් පසු නැවත මෙවැනි දෙයක්
නොකරන බවට පොරොන්දු වීමෙන් අනතුරුව ඉහළ උසාවියට නොදා (තාත්තට නොකිය) නඩුව සමථයකට
පත්කර ගත්තා.
ඒත් දවස් කීපයකට පස්සේ
තාත්ත රැ කෑම කනකොට පිළිකා රෝහලට ගිය කථාවක් කියල එකට සිගරට් බීම ලින්ක් කරා,
බනින්ඩ තර්ජනය කරන්ඩ ගියේ නැ, කොහොම උනත් එදායින් පස්සේ සිගරට් බොන්ඩ තිබුණ
ආසාවනම් නැතිවෙලා ගියා.
නැවත හමුවෙමු.