Tuesday, April 12, 2016

අපි අවුරුදු කාපු හැටි....


බ්ලොග් ලෝකයේ සෑම දෙනාටම ලබන්නාවූ සිංහල හින්දු අළුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා කියා හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ඉල්ලන ඕනේ දෙයක් ලෝබ නැතුව කිසි දැන අදුනුම් කමක් නැතුව වෙලාවක් අවේලාවක් නැතුව ලබාදෙන ගුගල් දෙය්යන්ගේ බැලුම් ව්‍යාපෘතිය හරිගිහින් රටේ හැමෝටම 4G ඉන්ටර්නෙට් පහසුකමත් ලැබේවා කියල හැමෝම සාදු කාරයක් දෙන්ඩ.
අපි අවුරුදු කාපු හැටි....
අපි අවුරුද්දට සති දෙකකට පමණ කළින් ගෙයි හුණු ගෑමට ලැහැස්ති වන්නෙමු. මැතිවරණයකට කළින් පොලිටික්කන් පොරොන්දු දෙන්නා සේ බොහෝ පොරොන්දු ලැබේ. එහෙත් පොලිටික්කෝ මෙන් වැඩේ අවසන් වුවිට කඩකරන බොරු පොරොන්දු නොව මේවා ඉටු වන පොරොන්දුවේ. “මෙදා පාර අදින්ඩ තියෙන්නේ පච්ච වර්නේ ඇදුම් , මම ලස්සණ රතුපාට ටි ෂර්ට් ගෙනත්දෙන්නම්කො ඔයාලට නැකතට කෑම කනකොට අදින්ඩ , ඒ අම්මාය.
අපෝ මට එපා ඔය දෙමළ පාට මට ඕනේ ලා නිල් පාට ටි ෂර්ට් එකක්
හරි හරි ඔයාවත් රෙදි ගන්ඩ යද්දී එක්ක යන්නම්කො එතකොට කැමති පාටක් තෝරලා ගන්ඩ පුළුවන්නේ
හැබැයි මාවත් එක්ක යන්ඩ ඕනෙ මටත් ඕනේ අයියගේ ටි ෂර්ට් එක වගේම එකක්මල්ලිද ඔහුගේ ඉල්ලීම් ඉදිරිපත් කරයි.
හරි හරි දෙන්නටම අරන් දෙනවනේ, මම කඩ මන්ඩියට ගිහිං හුණුයි හුණු ගාන කොස්සකුයි අරං එනකම් දෙන්න රණ්ඩු නොවී ඉන්ඩපොඩ්ඩ ඇත්නම් රණ්ඩුවක් අල්ලන අපි දෙන්නාට අම්ම කියයි.
අම්මේ අපි පිට බිත්තියට ඩිස්ටැම්පර් ගාමු.
පිස්සුද ළමයො ඕවා බිත්තිය වැහි හුලගකට අහු උනාම හේදිලා යනවා
අනේ අම්මේ අර වඩු බාස් මාමලයි අහ නිලන්ත අයිය කිව්වා හුණු ගානකොට කලවම් කරන පාම්පිටි කැඳ ටිකක් හාමු කරලා ගෑවම හොඳට බිත්තියට අල්ලනවලු
මන් දන්නේ නැ තාත්ත ආවම අහල බලන්ඩ නැත්නම් මටත් එක්ක බැණුම් අහන්ඩ වෙයි
අනේ අම්මේ තාත්ත එනකොට කළුවරත් වැටෙයි අපි ගිහිං ගෙනත් ගාමු
අලේ අම්මේ ඉස්සළහ බිත්තිහට ලෝස පාට ලාමු එලකොල ලහ්සලයි
මන් දන්නේ නැ ඔන්න තාත්තල පුතාල බේර ගන්ඩලාඅම්මා අපේ ඉල්ලීමට ඉඩ දෙන්නේ කිරීමට වැඩ රාශියක් ඇති නිසාත් අපේ සිත් කැඩුනොත් ඒ කිසි දෙයකට අපිව උදවුවට ගත නොහැකි බව හොදින්ම දන්නා නිසාත්ය.
එකළ තිබුණු සීදර හුණුසුපිරිය. දියකළ විට වෙන බාජනයකට පෙරීමක් අවශ්‍ය නොවේ, ගල් වැලි නැත.හුණු පැකට් කඩා ලොකු බාජනයකට දමා කැඳ  හා ලුණු ටිකක් දමා පදමට වතුරත් එක්කර දියකරන්නේ අම්මාය. හුණු ඇස් වලට වැටුණොත් ඇස් කණ වන බව පවසන ඈ සීරුවට දියකරන ලද ආලේපනය අපට කුඩා ප්ලාස්ටික් බාල්දි වලට දමා දෙයි. මල්ලිට පොල්මුඩු වලින් සෑදු කොස්සක් සමග බාල්දියකට දැමු  හුණු ස්වල්පයක් ලැබේ. මම ඉණිමගට නැග එහි  හරස් පොල්ලක රැදවූ බාල්දියෙන් ගන්නා හුණු සීරුවට බිත්ති වල ගාමී. අමාරු කොටස වන්නේ ලෑලි ගැසූ බිත්ති වල ගෑමයි. ඒවායේ බිත්ති වල ගානවා මෙන් ඉහළ සිට පහළට ගෑනොහැක. හරස් අතට ගෑයුතුය. මෙවිට බොහෝමයක් හුණු  බිමට හැලේ. අම්මා බිත්ති අයිනට ගෝනි පඩංගු හෝ පරණ ඉටිකොළ අතුරයි. සමහරවිටක මල්ලි ඉනිමගට තට්ටු දමා මා අවුස්සන්නට තැත් කරයි. මම හුණු පෙගවූ කොස්සෙන් ඔහුට හුණු ඉසිමි. එවිට ඔහුගේ ඇගේ හා ඇදුම් වල හුණු බතික් රටා වැටෙයි.
අපිට අවුරුද්දට රතිඤ්ඤ ලැබෙන්නේ අවුරුදු උදාවට දින දෙකතුනකට පෙරය. නැත්නම් අහල පහළ කොල්ලන් සමග තරගයට රතිඤ්ඤ පත්තුකරන අපි විනාඩි කිහිපයකදී රතින්නා පෙට්ටියක් පමණ ඉවර කරමු. බොහෝ විට මේ තරග පටන්ගන්නේ රැටය. අහල පහළ ගෙදරක කොල්ලෙක් අහස් කුරක් හෝ රතිඤ්ඤයක් පත්තුකර ටික වෙලාවකින් ප්‍රතිචාරයක් නැත්නම් කොපි කඩේ ගජන් මහත්තයාගේ හුව අනුකරණය කරයි.මෙවිට මොන දේ කරමින් හිටියත් කඩි කෑ බල්ලන් මෙන් අප වයින් වෙයි.ආම්පන්න සොයා ගැනීමට පෙර මිදුලට බැස පිළිතුරු හුවක් කියන අපි කඩිමුඩියේ ගේ ඇතුළත දුවමින් කළමනා එකතුකරන් මිදුලට බැස වැඩ අල්ලන්නෙමු.  ගිණි පෙනෙල්ලක් නැතිදාට කුප්පි ලාම්පුවෙන් තරගයට රතිඤ්ඤ පත්තු කළ නොහැක්කේ එය රතිඤ්ඤ නුලේ ඇති වෙඩි බෙහෙත් ඇවිළෙන විට පිටවන ගිණිපුපුරු වලින්  ලාම්පුව නිවෙන නිසාය. මෙයට විකල්පයක් ලෙස දැල්වුණ පත්තර කොලයක් හෝ ගිණිකුරෙන් පත්තුකිරීමත් සාර්ථක වුණේ නැත. තරගයේ රිද්මය පවත්වා ගැනීමටනම් එකෙකුගේ  රතිඤ්ඤයක් පුපුරා ගිය සැණින් අනෙකාගේ රතින්නයක්ද පුපුරා යා යුතුය. කරන ලද අත්හදාබැලීම් රාශියකින් පසු අපි හොද විකල්පයක් සොයා ගතිමු. එනම් කැඩුණු මදුරු කොයිල් කැබලිය. මේවා බොහෝ වෙලාවක් දැල්වී තියෙන අතර කොපමණ රතින්නා ප්‍රමාණයක් දල්වුවත් නිමෙන්නේ නැත.
අම්මේ අනේ මට සතින්නා රෝලක් ඕනේ, නැකතට පත්තු කරන්ඩ බට්ටෝත් ඕනේ
අම්මේ මට නිලා පෙට්ටියක් ඕනේ බමර චක්කරත් ඕනේමල්ලිද වද වේ
හරි හරි තව කල් තියන වනේඅම්මා කියයි.
 චීන පටස් ලෙස හැදින්වෙන කුඩා බෝල වැනි ගිණිකෙලි වර්ගය අපට අකැපය. ඒවා ලැබෙන්නේ ලොකු කොල්ලන්ට පමණි.
අළුත් ඇදුම් ඇඳ  නෑදෑ ගෙවල් වල යන අපිට නොයෙකුත් තෑගී ලැබේ. මුදල් වලටත් වඩා බඹර චක්‍ර , නිලා හෝ රතිඤ්ඤ  ලැබෙන්නේ නම් අප බොහෝ සතුටු වෙන්නෙමු. අවුරුදු කාලයට කොහාට කෝචෝක් කිරීම හෙවත් කොහාව අනුකරණය කරමින් කෑගසිමත් බොහෝ කොල්ලන්ගේ සිරිතකි. අහස්කූරු හරහට යැවීම, අහස්කූරු මහපාරේ යැවීම, රතිඤ්ඤ පොල්කටු හෝ ටයර් ඇතුළේ දමා පත්තුකිරීමත් දගයන්ගේ වැඩය. සමහර විටමෙවා ඇස්රතු වන විහිළු බවටත් පත්වේ. මේවා කියවලා අත්හදා බැලීම් කරන්ඩ යන්ඩ එපාය. හදිසි අනතුරු ඇතිවිය හැකි නිසාය. එහෙනං ගිහිං එන්නම් හැමෝටම ප්‍රීතිමත් නව වසරක් වේවා කියා නැවතත් ප්‍රාර්ථනා කරන මම කුකුලා.