Sunday, May 15, 2016

පොඩි කාලේ පිස්සු විනෝදාංශ


පොඩි කාලේ පිස්සු විනෝදාංශ
කුකුළාට පොඩිකාලේ ජොලියට කරපු වැඩ ගොඩක් තිබුණි. සමහර ඒවා බොහෝ පොඩ්ඩන් සාමාන්‍යයෙන් නොකරන ජාතියේ ඒවාය. එක කාලයකට රැය පුරා කලාමැදිරි පරිසරය ආක්‍රමණය කරති. අපි ඔවුන් අල්ලා ජෑම් බෝතල් වල දමා ගබඩා කාමරයේ හෝ ගේ පිළිකන්නේ හංගන්නේ වැඩිහිටියෙක් දැක්කොත් කෝටු පාර නොවරදින බව දන්නා නිසයි. අපි කලාමැදිරි පසුපස පන්නන විට එය දකින වැඩිහිටියන්
 “ඔවුන් අල්ලන්ඩ එපා කෑවොත් මුහුදේ මැටියි, හඳඒ පසුයි ගේන්ඩ වෙනවා වෙදකම් කරන්ඩ”
 යනුවෙන් කියන්නේ අප බය කිරීමටද නැත්නම් කලාමැදිරි කෑවිට කළයුතු බෙහෙතද කියා අපිට නොවටහිණි. ඒත් එම කථා කලාමැදිරි ඇල්ලීමට බාදාවක් නොවිය.
කලාමැදිරියන්ට වඩා රැබදුල්ලන් ලෙස හැදින්වූ පණුවන් විශේෂයක් අපේ හිත් තදින්ම පැහැර ගත්හ. ළදු කැලෑ හා බඩවැටි වල බිම රාත්‍රියට මැණික් ගල් මෙන් එළිය විහිදුවන  මොවුන් දැකිය හැක. අදුර වැටුණු පසු කොල්ලන් සමග ජෑම් බෝතල් වැනි විදුරු බෝතල් රැගෙන අපි මේ චමත්කාර ජනක සතුන් සොයා යන්නෙමු. අපේ වාසනාවට කිසිදිනක සර්පයෙක් හෝ ගෝනුස්සෙක් දෂ්ට කර නැත. අප ප්‍රදේශයේ සර්පයන් බහුලව නොසිටීමත් අපි දෙතුන් දෙනෙකුගේ සෙරෙප්පු ශබ්ද වලට සතුන් මග හැර ගියා වෙන්නටත් බැරි නැත.
සමනළ දඩයම්
සමනළයන් ඇල්ලීමද නැගලම ගිය ජොලි වැඩකි. අපිට විනෝදයක් වුවත් බොහෝ සමනළයන්ට අත්වුයේ භයානක ඉරණමකි. බොහෝ සමනළයින් මියගියා හෝ තටු කැඩී කුහුබුවන්ගේ ගොදුරක් බවට පත්වුහ.ගස් වල කොළ අතු කඩා ගන්නා අපි සමනළයින් පසුපස පන්නා ඒවායින් පහරදී සමනළයින් අඩපණ කොට අල්ලා ගතිමු. මොවුන්ගේ පිහාටු වල ඇති අළු වැනි ද්‍රව්‍ය අතේ ගෑවුණු විට ඔවුන්ට තවත් පියබා යාමට නොහැකිවේ. මේවා පොඩි කාලයේ නොදන්නා කමට කරපු තක්කඩි වැඩ කියලා දැන් සිතෙනවාය.
සතෙකුට උවද හිංසාවක් කිරීම අනුමත කළ නොහැකිය. අපිට මෙන් සතුන්ටද ජීවත්වීමට අයිතියක් ඇත.මෙය කැම්පස් එකේ වගේ උප සන්ගිස් කුරුතියක්ය කියා පොඩි උන් පාරට බැසිය හැකිය, ඒ නිසා ඒ සම්බන්දව වැඩි දුරට කිසිවක් නොලියමි. සෑම පුද්ගලයෙකුටම සමාන අයිතිවාසිකම් ඇත. ඒත් නවකයෙක් නම් එහෙම වෙන්නේ නැත.තේරුම් ගත නොහැකි සත්‍ය එයයි..
මාල ගිරව්, මයිනෝ පැටව් හා සැළලිහිණි
ගිරවුන්ට මයිනන්ට මෙන්ම සැලයන්ටද ගෙදරක ඇති කරනවා නම් කථා කිරීමේ හැකියාව ලැබේ. එහෙත් කූඩු කර සිටින සතෙකුගේ හා වනාන්තරයේ සිටින සතෙකුගේ විශාල වෙනසක් ඇත.
එකල කරූ අයියලාගේ ගෙදර ගිරවෙක් සිටියේය. කූඩුවක දමා සිටි මූ හොදින් කථා කරයි.
“පෙත්තා බත් කෑවද” යයි ඇසු විට
“පෙත්තා බත් කෑවා” යයි කියයි.
 මෙවැනි ගිරවෙක් මටත් හිටියනම් යන ආශාවක් පුංචි මගේ සිතේ ඇති විය. මේකා තව ටිකක් ලොකු උනාම පැටියෙක් දායි කියා මම සිතුවෙමි.
“මාමේ ගිරවා පැටියෙක් දැම්මම මට දෙන්ඩ” කෝකටත් මුළින්ම කියල තියන එක හොද නිසා කරූගේ තාත්තාට කීවෙමි.
“පැටව් දාන්ඩ දෙන්නෙක් ඕනෙ” කරුවා පණ්ඩිත වදන් කියයි.
“යකෝ දෙන්නෙක් ඉන්නවා නම් පැටව් මොකටද,මම අනිකා ගන්නවනේ” මම කිව්වෙමි.
පේර ගහයට ගෙදර ජයන්තලාගේ අහ මයිනෙක් සිටියේය. කුණු හරුප පවා කියන මේකා කූඩුවක් ඇතුලේ නොව නිදැල්ලේ ගේ පුරා යයි.පොඩි ප්‍රශ්නයකට තිබුනේ  නිවස ඇතුළේ ද  කක්කා දමන එකයි .ඒත් පේර ගහයට ගෙදර අයටනම් එය ප්‍රශ්නයක් නෙවෙයි වගේය. මේ ගෙදර අයියා කෙනෙක් ගස් කැපීම ජීවිකාව කර ගත්තෙකි.
“අයියේ මටත් මයිනෙක් හොයල දෙන්ඩ” ඔය ගේ ළගින් යනකොට හෝ කොහේදී හරි දැක්කොත් මගේ එකම ඉල්ලීමයි.
“ලබන සතියේ ගස් කපන කොට හම්බුනොත් දෙන්නම්”
ඔය ලබන සතිය ආවේ මාස කිහිපයකටත් පහු වෙලාය. තටුවත් හරියට ඇදී නැති සැලයෝ පැටව් දෙන්නෙක්ම ලැබුණි. මව හා පියානෝ කොච්චර කෑගැසුවත් මාරි පෙට්ටියක කුඩා සිදුරු විද ඔවුන්ට කූඩුවක් හැදුවෙමි. කෙසෙල් කන් පොඩිකර කැවීම හා ග්ලුකෝස් වතුරට කලවම් කර පෙව්වේ ඉක්මණින් ලොකු කර ගැනීමටයි.
සති දෙකක් පමණ හොදින් සිටි සැළලිහිණියන්ගේ පිහාටුද මෝදු වෙමින් තිබිණ.දිනක්  හිටි හැටියේම සතුන් දෙදෙනාම මිය ගොස් සිටියේය. ඉන්පසු සතුන් ඇති කිරීමට තීබු ආශාවද මැකී ගියේය.
මෙන්න දෙවෙනි සේවයේ පැරණි කථාවක්
මේක මගේ කතාවක් නෙවෙයි ඉස්සර අහල තියෙන ගිරව් ගැන ලියන කොට මතක් වුන කථාවක්.
ඔන්න කූඩුවක ගිරව් ජෝඩුවක් ඉන්නවලු. දැන්මේ ගිරව් ජෝඩුවගේ අයිති කාරයට හෙන ප්‍රස්නයක්ලු. මොකද ගෙදෙට්ට බල්ලෙක් ආවත් අහනවලු
 “අයියේ අර කූඩුවේ ඉන්න ගිරව් දෙන්නගෙන් පිරිමි සතා මොකාද?
නැත්නම් ගෙදෙට්ට එන එකෙක් අහනවලු  “මල්ලි මුන් දෙන්නගෙන් ගෑනු සතා මොකාද” කියලා.පොරත් මල අතේ තියාගෙන කල්පනා කරනවලු මේ පස්නෙට උත්තරේ.
මෙතෙන්දි මම පොඩි ඇඩ් එකක් දානවා, ගොඩක් කුරුල්ලන්ගේ මාළුවන්ගේ ගැහැණු සතාට වඩා පිරිමි සතා ලස්සණයි, එක පාරටම මොනරයි සෙබඩයි මතක් වෙනවා නේද? අනිත් කුරුල්ලන්ගෙත් ඔය සිද්දියම තමයි, පිරිමි සතා ලස්සනයි. දැන් මේ පෝස්ට් එක කියවන ගැහැණු දරුවෝ කලබල වෙන්ඩ එපා ඔය කථාව මනු සතුන්ට අදාළ නැ.
දැන් ආයෙත් කථාවට එමු. දැන් මේ මනුස්සය යාළුවෙක් හම්බවෙලා මේකට උපදෙසක් ඉල්ලුවලු.
“මචං ගිරව් දෙන්න ආදරේ කරනකොට උඩ ඉන්න එකා තමයි පිරිමි සතා, යට ඉන්නේ ගෑණු සතා” කියල යාළුව කිව්වලු.
 දැන් අපේ ගිරව් අයිති යාළුවා හරි සතුටින් ගෙදර ආවලු. ඇවිත් තමන්ගේ උපදේසකය කියපු විදියට ගැහැණු පිරිමි බව හොයා ගත්තලු. ඒත් ටික වෙලාවක් ගියහම ආයෙත් මුන් දෙන්නගෙන් පිරිමි සතයි ගැහැණු සතයි හොයා ගන්ඩ බැරිලු. පස්සේ ආයෙත් අර යාළුවා හොයාගෙන ගිහිං මේකට මොකද කරන්නේ කියල ඇහුවලු.
“හයියෝ ඕකත් එච්චර ප්‍රශ්නයක්ද, දෙන්න එකට ඉන්න වෙලාවක උඩ ඉන්න පිරිමි සතා අල්ලලා බඩ වටේ රෙදි පටියක් ගැට ගහපන්” කියල අනික් යාළුව කිව්වලු.
ප්‍රශ්නෙට උත්තරේ හොයා ගත්තට ගොඩක් සතුටු උන අපේ යාළුව පාරදිගේ හෙන ජොලියෙන් එනවලු. ඔය එන කොට පාර අයිනේ වැටිලා තිබුනලු ගැටිස්සියන්ගේ කොන්ඩේ බදින කළු රිබන් එකක්.
“ෂා මේක නියමයි මගෙ වැඩේට” කියල ඕකත් අහුලන් ගෙදර ආවලු. පස්සේ හොදට බලා ඉදල පිරිමි සතාව අල්ල ගත්තලු. පස්සේ කූඩුවෙන් එළියට අරං අර කළු රිබන් එක බඩ වටේ බැන්දලු.එහෙම බදිත්දී ගිරවත් සද්ද නැතුව හිටියලු, මොකද ඌටත් තේරෙන්ඩ ඇතිනේ තමන් කර කර හිටපු වැඩේ. දැන් අපේ යාළුව ගෙදෙට්ට එන හැමදෙනාටම පෙන්නනවලු “ආන්න අර බඩ වටේ කළු පටියක් බැදලා තියෙන්නේ පිරිමි සතාගේ” කියලා.
මෙහෙම ටික දවසක් ගියාලු. දවසක් පල්ලියේ සුවාමි ආවලු අපේ යාළුව හම්බ වෙන්ඩ, ගිරා ජෝඩුව ළගටත් ගිහිං බැලුවලු.
පස්සේ කූඩුවේ හිටපු ගිරව අපේ යාළුව නිර්වස්තර කරාලු පාදර් ඉස්සරහා මෙන්න මෙහෙම දේශනා කරලා,
“හා හා මට හිතා ගත්තහැකි ඔය කළු පටියක් බැදලා තියෙන්නේ මොකද කියලා, ඔයත් අහූඋනා නේද මම වගේ” !!!....
  --------------- ============= ------------=========== -----------  
“එහෙනං ගිහිං එන්නම්,කොල්ලෝ කෙල්ලෝ හැමෝම  මූඩ් ගහන්නේ නැතුව ෆුල් ෆන් එකේ ඉන්ඩ ඕනේ හොදේ”....
මම ගං කුකුළා.



Monday, May 9, 2016

හයියෝ වාසු

හයියෝ වාසු

කවුරුත් කලබල වෙන්ඩ එපා අපේ ගරු අහවල් හිටපු  ඇමතිතුමා{සුද්ද සිංහලෙන් දියවන්නාව ගද ගැස්සුවේ]  ගැන ලියන දේසපාලන පෝස්ට්එකක් නෙවෙයි.මේක උනේ අපේ යාලුවෙකුට මුගේ නමත් වාසුදේව ගමනායක  ගමේ හිටපු හොද මනුස්සයෙක්,මිනී මරපුව ඒ විදියටම වීඩියෝ කරලා පෙන්නන අද කාලේ අවුරුදු දහපහලවකට කළින් වුන සිද්දියක් ඒ මනුස්සයාගේ අනුදැනුමකින් තොරව මගේ බ්ලොගේ කතෘ කාරකෙන් ලිව්වයි කියල ගැටළුවක් වෙන්ඩ විදියක් නෑ.{ඇම් අයි රොන් ගයිස්}
තවම ජොබ් එක හරිගියේ නැද්ද” කන්ඩ අදින්ඩ දෙන අම්මල තාත්තලට වඩා ගමේ මිනිස්සු අපි ගැන හොයල බලනවා. රස්සාවක් නැතුව ගෙදරට වෙලා ඉන්න එක දෙමව්පියන්ට වඩා බරක් වෙන්නේ ගමේ මිනිස්සුන්ට. කඩේකට ගියත්,පංසලක් පල්ලියකට ගියත් අහන්නේ රස්සාව ගැන, ලගදි බැන්දනම් අහන්නේ තවම බබාල නැද්ද කියල. මටනං මල පනින්නේ හිස් මුදුනෙන්ම.
“අළුත් ආණ්ඩුවෙන් හැම ගමකටම ගාමන්ට් එක ගානේ දානවලු ගිහිල්ල මැම්බර් මහත්තයට කථාකරලා බලන්ඩ” මන්ත්‍රිලගේ පස්සේ යන වුන් උපදෙස් දෙනවා මුණට. ඒත් හිතේ තියෙන්නේ ඉස්කෝලේ ගිහින් විබාග පාස් කරාට මේකා තාමත් ගෙදර කියල. ඒක තමයි ගමේ සිංහල මිනිස්සුන්ගේ වසර දෙදාස් පන්සීයක ඉතිහාසයෙන් සන්ස්කුරිතියෙන් ඇට ලේ මස් වලට කිදා බැහල තියෙන්නේ.දවසට දහපාරක් පන්සිල් ගත්තත් මයිත්‍රී බාවනාව කරත් වැඩක් නැ. ක්‍රෝදය, ද්වේශය, වයිරය පිරිලා.
කොරියා යන්ඩ බාසා විබාගෙත් ලියල අනෙක් සහතිකවල පිටපතුත් ඒජන්සියට දීල තිබුණත් ඒජන්සියෙන් කිසිම දැනුම් දීමක් නැතුව ගෙවිලා ගිය මාස කිහිපය අවුරුදු ගානක් වගෙයි දැනුනේ.රස්සා කීපයක් කරත් ලංකාවේ ඉදල හරියන්නෑ, මේ රට කවදාකවත් දියුණූවෙන්නේ නැ, ලංකාවේ මිනිස්සු මහ කුජිත කොට්ටාසයක් කියල හිතපු ඒ වගේම එහෙම මිනිස්සු වැඩිපුර ආස්සරේ කරන්ඩ ලැබුණ නිසා රස්සාවකට ගියත් මාස කීපයකට වඩා එකතැන වැඩකරගෙන ඉන්ඩ ලැබුණේ නෑ.
 තේ හදන එකාගේ ඉදල මැනේජර්ලා එක්කත් ඇරගත්තේ අර පාට කණ්ණාඩියෙන් මිනිස්සු දිහා බලපු නිසා වෙන්ඩ ඇති. සමහර සිද්දි මතක් වෙනකොට හිනහත් යනවා සමහර දේවල් වලට තවමත් ඇගේ මාළු නටනවා මතක් වෙද්දී. ඉංජිනේරු සර් ලටයි තෙල් බොයිලේරුව පත්තුකරන හැටි නොදන්න මැනේජර්ල්යි හිටපු කොම්පැණියක ලිපිකරු රස්සාවකට ගිහිං පියන්ගෙන් ගේම ඉල්ලුවේ තේ එක මේසෙට ගේන්නේ නැති නිසයි. අනික් උන්ට තේ දීල “සැර් තේ බොන්ඩ” කියල ඔලුව කසල මූ දෙකට තුනට නැමෙනවා. මගේ මේසේ ගාවින් යන ගමන් “වාසු මහත්තය තේ බොනවද” කියල අහන්නේ “නෑ දැන් ඕනෙ නැ බණ්ඩාර” කියල මගේ කටින් කියව ගන්ඩ කියල මම දන්නවා. ටික දවසක් යනකම් මුගේ මේ බයිලාව මම ඉවසන් හිටිය. සමහර දවසට කෝප්ප නැ තවත් දවසකට “වාස් මහත්තය මට ලොකු මහත්තය ඉක්මණටම බැංකුවට ගිහිං එන්ඩ කිව්වා” කියල මාරු වෙනවා. ජොබ් එකට ගිය අළුත ගණන් නොගෙන හිටියත් සතියක් විතර ගිහිනුත් මේකාගේ කිරියාකලාපය හරිගියේ නැතිනිසා ලොක්කොයි සොක්කොයි ඔක්කොමල ඉන්න වෙලාවක කාර්යාල කාර්ය සහායක කෙනෙක්ගේ ජොබ් රෙස්පොසිබිලිට්යිස් මොනවාද කියල මතක් කරලා දුන්න.
රට රස්සාවට යන්ඩ හැම දෙයක්ම සුදානම් කරගෙන විබාගෙත් පාස් වෙලා තිබුණත් මාස දෙක තුනත් ගියත් කිසිම තොරතුරක් ලැබුනේ නැ. ඒජන්සියට කථාකරත් තවම විසා එවල නැ මේ දවස් වල කොරියාවේ නිවාඩු කාලයක් වගේ දේවල් තමයි අහන්ඩ ලැබුණේ.ඉවසපන් හදවත කියල යටි හිත කියද්දි තව එකෙක් “ඔය ඒජන්සිය හොර එකක් උබේ සල්ලිත් නැතිවෙයි බලාගෙන හිටපං උබට රට නෙවෙයි යන්ඩ වෙන්නේ හඃ හඃ හාආආ” එකෙක් හිනා වෙනවා. හිතන්ඩ එපා ඒ ගමේ ඉන්න බුලත් විට කකා කෝපි කඩේ දාන් අදින සුටිං මාම හරි අනුන්ගේ දේවල් හොය හොයා යන මැගී ආච්ච් කියල මේ බුතයෙක් මු ඉන්නේ මගේ ඇග ඇතුළේ, හදිස්සියක් උණාම නැත්නම් නැත්නම් ගොඩක් වෙලා කල්පනා කරනකොට මේකා එළියට එනවා. පිටවුන් කියන දේවල් මේ කනින් අහල අනිත් කනින් එළියට දැම්මත් තමන්ගේ ඇග ඇතුළෙන් දැනෙන දෙයක් එක පාරටම අයින් කරලා දාන්ඩත් බෑ.
ඇත්තටම මට රට යන්ඩ බැරි වෙයිද?ඒජන්සිකාරයෝ කරන්නේ බොරුද?මම කොහොමද ගමේ මිනිස්සුන්ට මුහුණ දෙන්නේ? හැමෝම මට හිනා වෙයි!
වාසුගේ මියගිය සිරුර සොයා ගැනුණේ වැවේ පාවෙමින් තිබියදීය. බලාපොරොත්තු සුන්වූ ඔහු ජීවිතය කෙළවර කර ගත්තේ කිසිවෙකුටත් නොදන්වා රහසේමය. නිහඩ චරිතයක්වූ වාසු ඔහුගේ නිහඩ බව නිසාම කිසිවෙකුගේවත් උපදෙසක් හෝ පිළිසරණක් නොපැතුවේය. වාසුගේ බලාපොරොත්තු කඩවීම නිසා ජීවිතය නැතිකර ගැනීම අනුමත කළ නොහැක. එහෙත් එකෙක්ව පාගා හෝ කකුලෙන් ඇද වැට්ටවීමට මාන බලන කුහක සමාජයක ජිවත් වනවාට වඩා මරණය සැපකයි විටෙක සිතේ.


Sunday, May 1, 2016

අවුරුදු වලින් පසු


අවුරුදු අපිව කෑවාද

කොහොමද සහෝදර වරුනි මිත්‍රවරුනි අවුරුදු කෑවද? මට හිතෙන්නේ අවුරුදු අපිව කෑව කියල. බ්ලොග් පොස්ට් එකක් ලියන්ඩ් කියල කොම්පීටරේ ළග ඉදගත්තා විතරයි අල්ලපු ගෙදර පොඩි කෙළි කෑගහනවා මමී  දවල්ට උයන්ඩ රයිස් නෑකියල, ඊට පස්සේ ඇහෙනවා ඩෑඩි නො රයිස්කියල. දැන් මොකේද දන් වළදන්නේ කිව්වලු. පොෂ් කියල පිටට පෙන්නුවට සමහරු නිකම්ම හිස් කියල කුකුලට හිතෙනව. තරහකින් ලියනවා නෙවෙයි දාස් ගණන් වියදම් කරලා පාටි දාන වුන් හිගන්නෙක් දැක්කම මුන් හිගාකාල සල්ලි හොයන්නේ හවසට කසිප්පු  බොන්ඩ කියල ළග ඉන්න මනුස්සය දෙන්ඩ හදන රුපියල් පහ වළක්වන උනුත් ඉන්න රටක් මේක.
ජිවිතයක් ලැබිල තියෙන්නේ විඳවන්ඩ නෙවෙයි විදින්ඩ, මේ ජිවිතේ ආයේ ලැබෙන්නේ නැ ඒක නිසා පුල් ආතල් එකේ ඉන්ඩ ඕනෙ කියල පිස්සු නටන එක හරිද? ලබන ආත්මයක් තිබුණත් නැතත් හැම දේකම අන්තයට නොයා මැදුම් පිළිවෙතින් ජිවත් වෙනවනම් හොදයි කියලයි කුකුලට හිතෙන්නේ. 96 වර්ල්ඩ් කප් එකේ අන්තිම මැච් එක වෙලාවේ තමන්ගේ බිරිදට ළමයෙක් හම්බවෙන්ඩ අමාරු වෙලා ත්‍රීවිල් එකක් ගේන්ඩ පාරට ඇවිදින් ඒක ටිකකට කල්දාල මැච් එකේ අවසන් ඕවර් කිහිපය බලපු මිනිස්සු ඉන්න රටක් මේක. ඉතිං රැට කන්ඩ කෑම ගේන්ඩ ගිහිං ඒ සල්ලි වලින් යාළුවොත් එක්ක බීලා ගෙදර ඇවිත් ගෙවල් වල ඉන්න මිනිස්සු එක්කත් රණ්ඩු කර ගන්න අය ඕනෙ තරම් ඉන්නවා.
ලව් බෙගර්ස්” -  ආදර හිගන්නෝ
මනොමයෙන් ලව් කරපු අපිට ආදරය හිගාකෑම ගැන උගන් වන්ඩ එන්ඩ එපා මහත්තයෝ. ආදරය හිගාකෑම මානව පරිනාමයටත් පෙර සිට පැවතගෙන එන සම්ප්‍රදායක් නැත්නම් සිරිතක් ලෙස කුකුළාට හිතෙනවාය. සෑම සත්ව කොට්ටාසයකම පොදු ලක්සනයක් ලෙසත් මෙය දැකිය හැකිය. දැන් බලන්ඩ කොහාත් මාර්තු අප්‍රිල් කෑගහල කෑගහල ඒත් හරිගියේ නැත්නම් මැයි මාසෙත් කෑගහල බලන්නේ අහල පහළ ගෑල්ලමයෙක් නැත්නම් කෙවිලියක් ඉන්නවද කියලාය. මෙහෙම කෑගැහිමත් එක්තරා හිගා කෑමක් ලෙස කුකුළාට හිතෙනවාය. හිගාකැවාට අවුලක් නැත. ඒත් බැ කිව්වා කියල ජිවිතේ නැතිකර ගැනීම නම් අනුමත කරන්ඩ බැරිය. මොකද තමන්ට ආදරයක් නැති කෙනෙක් වෙනුවෙන් ජිවිතේ නැතිකර ගැනීම මෙලෝ රහක් නැති වැඩක් කියල හිතෙන නිසාය. සමහරු ජිවිතේ නැතිකර ගන්නේ තව කෙනෙකුට රිද්දවන්නටය, මේක නම් සිරා ජෝක් එකක් කියල හිතෙන්නේ මටම විතරද මන්දා. ඒත් මේ ආදරය යැදීම් මේ ලෝකය පවතින තුරාම තියෙනු ඇත. ඒත් ඔය හිගාකා සෙට් කර ගන්නා ඒවා අන්තිමේදී වහ කදුරු වන අවස්ථාත් නැත්තේම නැත. ඒක නිසා හිගා කෑමත් ඕනෙවට වඩා ඕනෙම නැ කියල කුකුළා හිතනවාය.
මුස්ලිම් කඩ වර්ජනය රුපියල් විස්සක නෙට් කාඩ් එකක් දාගෙන මූනු බක්කියේ චන්ඩින් වී සිටින අය අහවල් රෙදි කඩ වලින් රෙදි ගන්ඩ එපා කියමින් කෑගහන්නේ වෙන රටකට වෙන ජාතියකට අයිති මුර්දුකාන්ගයකිනි. මා හිතන විදියට මේ සිගාලයන් කන්නේ බත් නොව තණකොළ විය යුතුය. නැත්නම් චීනයේ හෝ කොරියාවේ හදන ෆෝන් එකකින් ගන්නා පිංතුරයක් වෙනත් ජාතිකයෙක් විසින් සොයා ගන්නා ලද පරිගණක තාක්ෂණයක් බාවිතා කර මෙවැනි දෙකේ පන්තියේ විහිළු නොකරනු ඇත. අන්තර් ජාලය මුළු ලෝකයම අප දෙපා මුලට ගෙනවිත් ඇති අවස්ථාවක එකම රටක ජිවත්වන අපි ජාතින් වශයෙන් බෙදී කාකොටා ගන්නේ මොකටද කියා දන්නේ කතරගම දෙවියන් පමණි. ඉන්දියාවේ සිට පැමිණ සිංහල දෙමළ සැමටම ජාති බේදයකින් තොරව  ඔහු සැමගේ කන්නලව්ව අසා සිටි. මුහුණු පොතේ ජාති වාදය වපුරන්නෝ කතරගම දේවාලයට හෝ වෙනත් දේවාලයකට ගොස් නැතිව ඇතයි ඔබ සිතනවාද? මේ බොහෝ දෙවි වරු මේඩ් ඉන් ඉන්ඩියාබව සමහරවිට මේ පැන්චන් නොදන්නවා ඇත. එසේම ඔවුන් ඔබ අප්‍රිය කරන හෙලා දකින දෙමළ ජාතිකයින් වීමටත් බැරි නැත. ලේ දෙන්ඩ පුළුවන් මොලේ දෙන්ඩ බැ කියල කියන්නේ කට කහනවට නෙවෙයි නේද?
                        නැවත හමුවෙමු, මීට ඔබේ හිතවත්

                                                                          ගං කුකුළා.