Monday, February 22, 2016

අපි දැන් ලොකු ළමයි කුකුළගෙ තුන


  අපි දැන් ලොකු ළමයි කුකුළගෙ තුන  

අපිත් දැන් ටිකක් ලොකුයි, ඒ කිවුවේ අල කොලයක් හිල් වෙන්ඩ වගේ  පොල්කට්ටක් පිරෙන්ඩ චු කරන්ඩත් අපිට දැන් පුළුවන්. අපි මෙහෙ හිතුවට ලෝකයා ඒ කිවුවේ මේ සමාජේ ඉන්න මිනිස්සු ඕව දන්නවය, මුන්දෑල හිතන්නෙම අපි පොඩි ළමයි කියල;
මේකට මොකද්ද ගන්න පියවර කියල චිනි අයියයි මමයි කල්පනා කරා
“ලොකු මිනිස්සු සිකරට් ගහනවනේ ,අපිත් හැමෝටම පෙන්ඩ ටව්මෙන් සිකරට් අරං හැමෝටම පෙන්ඩ බොමු” චිනිය දබර අගිල්ලයි මැද ගිල්ලයි දික් කරලා කටට ලංකරලා සිකරට් එකක් බොනවා වගේ පෙන්නන ගමන් කියනවා.
“පිස්සුද අපේ තාත්තා දැනගත්තොත් දිමිගොටු දාල ගහයි.” එහෙම කිවුවේ මම,
අපේ පැත්තේ කෝපි ගස් ඕසෙට තියනවා. ඔව්වයේ කළු කුබී වගේම දිමියොත් ඉන්නවා. ඔය දිමියෝ කෝපි ගස්වල කොළ එකට සම්බන්ද කරලා ගෙවල් හදනවා, මේ කෝපි  කොළ එකට සම්බන්ද කරන්ඩ පාවිච්චි කරන්නේ මුකයේ ඇති  කේටය කියලයි මම හිතන්නේ, මං වැරදිනම් හදන්ඩ හොදේ. මේ දිමි ගොට්ටක් වැරදිලාවත් අතේ ගෑවුනොත් ඒකෙ ඉන්න දිමියෝ ඇවිත් කනවා. ද වැඩක් කලාම අම්මල තාත්තල උට දිමිගොටු දාල ගහනවා කිවුවට එහෙම කරපු බවක් නම් පොත් පත් වලවත් සදහන් වෙලා නැ,
කොහොම හරි දවසක් අපි කඩේට ගිහිං සිකරට් දෙකක් ගත්තා, ගත්තා කිවුවට ගත්තම නෙවෙයි එතන සිද්ද උනේ  බාන්ඩ හුවමාරුවක්,මුදලාලිට අපි පොල්ගෙඩි හතරක් දීල සිකරට් දෙකක් ඉල්ලා ගත්තා.
දැන් බොලා හිතන්ඩ එපා අපි පොල්හොරු කියලා, අපිනම් ඔය පොලිටික්කෝ වගේ දෙකයි පනහේ වැඩ එදා කරෙත් නැ, අද කරන්නෙත් නැ,
මම කලින් කියලත් ඇති නැත්නම් අහගන්ඩකෝ , චිනියලගේ තාත්තා මේසන් වැඩ වලට අමතරව පොල්වත්තක් මුරකරන එකත් කළා. අන්න ඒ වත්තෙන් අපි පොල් අහුලලා කඩේට දෙනවා, දීල අපිට ඕනේ දේවල් ගන්නවා. මේ බාන්ඩ හුවමාරුවෙන් ගොඩක් වෙලාවට වාසි උනේ කඩේ මුදලාලිට, ඒත් බිස්නස් එක ගැන මුදලාලි අපේ ගෙවල් වලට පැමිණිලි කරයි කියන බය නිසා අපි මුදලාලිත් එක්ක ඇරගන්ඩ ගියේ නැ.
දැන් අර කලින් කියපු විදියට ගත්තු සිකරට් වලින් චිනියගේ එක ඌ කඩේ ලාම්පුවෙන් පත්තු කර ගත්තා, මගේ එක මං සාක්කුවෙන් දාගත්තා, මට නිකං මොකද්ද මොකද්ද වගේ හන්දියේ ඉදං සිකරට් බොන්ඩ,
“ඉස්සරා වංගුව පහුවුනාම මටත් උගුරක් දීපං” මං චිනියට කිවුවා.
වංගුව පහුවෙන්ඩත් කලින් මං අරුගෙන් සිකරට් එක උදුරාගෙන කටට තියල ෂොට් එකක් ගහල දුම්ටික නිකං කෝච්චිය වගෙ යැවුවා,
අම්මට හුඩු ගුණය වන්ගුවේ අනික් පැත්තෙන් මතුවුණා. හුටා මු දැන් අපේ තාත්තට කියයි චිනිය හොදටම බයවෙලා, මටත් දිමිගොටු ඇතුළේ ඉන්න ආරක්සක දිමියන්ගේ කකුළු අඩු වගේ තියන කකුල් මතක් උනා ,උන්ගේ කටවල් වල තියන විස දියර මුළු ඇ ගටම වැටුන වගේ දැනුනා. මොනවා කරන්ඩද දැන් මු ගෙවල් වලට කිවුවොත් අම්බානකට කන්ඩ වෙනවනේ. මට පොඩි අයිඩියා එකක් ආව.
“උඹලා සිකරට් බොනවා නේද හිටපල්ලා හොද වැඩක් කරන්නම් උබලා දෙන්නට, මම යනගමන් ගෙවල් වලට කියාගෙනම  යන්නම්”
අපි සිකරට් බොන්නේ නැ, මේවා මොනරහද කියල බලන්ඩ බිවුවේ, මම කාලක් වත් ඉවර වෙලා නැති සිගරට් එක පෙන්නමින් ගුණයට කිවුවා.
“මෙහාට දීපං ඕක”
ගුණය සිගරට් එක උදුරා ගත්තා.
ගුණේමාමේ අපි සිකරට් බීපු බවක් කාටවත් කියන්ඩ එපා, ආ මේකත් ඔයාම තියාගන්ඩ” කියල  සාක්කුවෙන් අරං මගේ එකත් දුන්නා. බිඩි බොන ගුණපාලය සිගරට් එක ගත්තේ පතල් කාරයෙකුට නිල් කැටයක් හම්බුනා වගේ.
පහුවදා හවස වෙනකම් කිසි අවුලක් උනේ නැ, ඒත් චිනියගේ තාත්තා වැඩ ඇරිලා ඇවිත් චිනියත් එක්ක ගේ වටේ දිවීමේ තරගයක් ආරම්බ කිරීමත්, ජෝන් බාසා මුලුගමම අමතමින් තමන්ගේ පුතාගේ හා මගේ වැඩ ගැන කියන කොට මට පොළොව පලාගෙන ගිහිං වැලලෙන්ඩ හිතුනා.
ගේ වටේ දුවල හතිවැටිලා චිනියව අල්ලගන්ඩ බැරිවුණ තරහට  මල් කෑර කෝට්ටෙන් ලෑලි බිත්තියට තදින් පාරක්  ගහපු ජෝන් බාස් “මං තොට කිවුවේ නවතින්ඩ කියල, ඔහොම නවතියන්” අවසාන නිවේදනය නිකුත්කරා.
චිනියත් ඇරියේ නැ, “ගහන්ඩද අපිව හැදුවෙ” මුත්  ගමටම ඇහෙන්ඩ කැ ගැහුවා.
මේ නාට්ටිය පෙන්නපු ජෝන් බාස්ගේ ගේ තිබුණේ අපේ ගෙට උඩ කන්දෙ, මේක හන්දා අපේ අම්මට කේබල් චැනල් , රොයිටර් චැනල් වලට නොගෙවා නොමිලේම නිව්ස් එක අහන්ඩ ලැබුණා.
අපේ අම්මට නිවැරදි සාක්ෂි ඒ කිවුවේ ඇසින් දුටු සාක්ෂි නැති නිසාත් අපි එහෙම නරක වැඩ කරන ළමයි නොවන නිසාත් කලින් මෙවැනි වැරදි කර නැති නිසාත් දීර්ග දේශනයකින් පසු නැවත මෙවැනි දෙයක් නොකරන බවට පොරොන්දු වීමෙන් අනතුරුව ඉහළ උසාවියට නොදා (තාත්තට නොකිය) නඩුව සමථයකට පත්කර ගත්තා.

ඒත් දවස් කීපයකට පස්සේ තාත්ත රැ කෑම කනකොට පිළිකා රෝහලට ගිය කථාවක් කියල එකට සිගරට් බීම ලින්ක් කරා, බනින්ඩ තර්ජනය කරන්ඩ ගියේ නැ, කොහොම උනත් එදායින් පස්සේ සිගරට් බොන්ඩ තිබුණ ආසාවනම් නැතිවෙලා ගියා.
නැවත හමුවෙමු.

Saturday, February 13, 2016

පැටියා කාලේ 02 මාළු ඇල්ලීම

පැටියා කාලේ 01 බලන් එන්ඩ   

මාළු ඇල්ලීම


මුලින්ම අපි මාළු ටැංකියක් හදා ගත්තා මෙන්න මේ ආකාරයට , මිදුලෙ ටිකක් ඈතට වෙන්ඩ තිබුණ මිදුලට වඩා තරමක් උස තැනක බිමසුද්ද කරලා අඩියක් විතර ගැබුරට අඩිදෙකක් විතර විස්කම්බයක් තියන විදියට වලක් හාර ගත්තා. පස්සේ හොදින් වල පරික්සා කරා කැපුණු මුල්වගේ තියුනු දේවල් තියනවද බලන්ඩ,
ඒ මොකටද දන්නවද? ඔය වල ඇතුළට ඊළගට පොලිතින් කවරයක් දාන්ඩ ඕනෙ, ඒක ටිකක් ගනකම වැඩි එකක්නම් හුගක් හොදයි.
ඉටි කොලේ අතුරලා ටැංකියේ පොළොව මට්ටමේ තියන ඉටි කොලේ වහෙන්ඩ පිඩලි අල්ලන්ඩ ඕනේ,
එතකොට ටැංකිය ඇතුල් පැත්තට ??
ඇතුලට රොන්මඩ තමයි දාන්නේ ඒවයේ මාළුන්ට කන් ඩ කෑම තියනවා කියල චිනි අයිය තමයි මට කිව්වේ,
ටිකක් මහන්සිඋනොත් ටැංකියේ ඇතුලටත් පස් දාල ඉටිකොලය පේන්නේනැති වෙන්ඩම හදාගන්ඩ ත් පුළුවන්.කොහොම හැදුවත් පොළොවේ මට්ටමෙන් ටිකක්වත් උස තැනක හැදුවේ නැත්නම් වතුර මාරු කරනකොට අමාරුවෙනවා.

                                               (මේක ගූගල්ගේ මං හදපු එකට ටිකක් සමානයි.)



ඔන්න මගෙ ටැංකියේ වැඩ ඉවරයි, මගේ ටැංකිය වගේ නෙවෙයි චිනි අයියගේ ටැංකිය එයා හැදුවේ සිමින්තියෙන්,
ඉස්සරහ පැත්තට විදුරුවක් දාල ලස්සනේ බැ, එයාටනම් මොකද තාත්ත මේසන් බාස් කෙනෙක්නෙ.
කෑලි කෑලි වෙනම හදල පස්සේ එකට සම්බන්ද කරා කියලයි එයා කියුවේ, මගෙ ටැංකිය වගේ නෙවයි මේකට හදපු ගමන් මාළු දාන්ඩ බැ, සිමින්ති සැරට මාළු මැරෙනවා,
දවසක් මම චිනි අයියලාගේ ගෙදර යනකොට චිනි අයිය කපල දාපු කෙසෙල් ගහක් පතුරු ගහනවා
චිනි අය්යේ මොකටද ඔය කෙසේල්කොටේ සුද්ද කරන්නේ?
ඔයා තනියම දුන්නක් හදාගත්තද?
මටත් එකක් හදල ඕනේ, මම කිවුවා, මම හිතුවේ මෙයා දුණු සෙල්ලම් කරන්ඩ හදනවා ඇති  කියල, අපි දුණු හැදුවේ පේර කොටු වලින් ඊතලවලට ගත්තේ කෝපි කෝටු.
කෙසෙල් කොටයක් කන්ඩියකට හෙත්තුකරලා මුලින්ම අඩි විස්සක් විතර ඈතින් ඉදලා ඉලක්කෙට විදිනවා, ඊට පස්සේ ටිකටික දුර වැඩි කරනවා. වෙන කොල්ලො කවුරුත් හිටියේ නැත්නම් මේ සෙල්ලමෙන් දිනන්නේ මටවඩා අවුරුදු දෙකක් විතර වැඩිමල් චිනියා,
දුණු විදින්ඩ ගිහිල්ල තව පොඩ්ඩෙන් මාළු කතාව අමතක වෙනවා සොරි වෙන්ඩ ඕනේ හොදේ,
ඉතිං මගෙ ප්‍රශ්නෙට චිනි අයිය කිව්වේ එයාගේ මාළු ටැංකියට දාන්ඩයි මේ කෙසෙල් කොටේ සුද්ද කරන්නේ කියල.
“ඒ මොකටද කෙසෙල් පතුරු ටැංකියට දාන්නේ කෙසෙල් පතුරු කහට වැදිලා ටැංකිය සවුත්තු වෙයිනෙ” මම කිව්වා.
නැ මල්ලි කෙසෙල් පතුරු වලට සිමින්ති සැර යනවලු, අපේ තාත්ත කිව්වේ කෙසෙල් පතුරු දාල ටැංකියට වතුර පුරවල සතියක් විතර වහල තියන්ඩ කියල.
ඔහොම සතියක් විතර කෙසෙල් පතුරුයි වතුරයි දාල තියල සතියකට  පස්සේ වතුරයි කෙසෙල් පතුරුයි අරන්දාල ටැංකිය හොදට හෝදල ආයෙත් වතුර පුරවල සතියක් විතර තියන්ඩ ඕනේ, හැබැයි වීදුරුව තියන පැත්තේ හරි ටැංකියේ ඇතුල් බිත්තියේ දියසෙවෙල බැදිලා තියනවනම් ඔන්න ටැංකිය පදම්වෙලා, දැන් මාළු දාන්ඩ පුළුවන්, ඒත් කෝ මාළු ????
අපි මාළු අල්ලන්ඩ ගියේ මෙහෙමයි
මුලින්ම අඩිය අල්ලපු බත් මුට්ටියක් හොයා ගන්නවා, කිරිබත් හදපු දවසක්නම් නියමයි කිරිබත් කණ්ඩ දන්ඩි පැටව් හරිම පෙරේතයි.
තවත් දෙයක් නැතුවම බැ ඒතමයි පරණ චිත්තයක් ගොඩක් වෙලාවට අපේ දර මැස්සේ පරණ රෙදි උරෙන් මම රෙද්දක් හොයා ගන්නවා, දැන් අල්ලන මාළු ගේන්නේ කොහොමද? ඒකට ජැම් බෝතල්, ලස්ප්‍රේ ටින් ගෙනියන්ඩ ඕනෙ.
දැන් හරි යමු මාළු අල්ලන්ඩ,
මුලින්ම ඇල ළගට ගිහිං වැඩි සද්දයක් නැතුව ටින් බෙලෙක්ක ටිකට වතුර පුරවා ගන්ඩ ඕනේ.
පස්සේ අර මුළින් කියපු මුට්ටිය ඇලඉවුරෙ ඉදං පුළුවන්තරම් ඈතට අත දිග්කරලා හෙමින් වතුරෙ යටයවන්ඩ ඕනේ, ඕකට දක්ෂය චිනි තමයි, මටවඩා අත පය දිගනිසා හැම දාම නිතරගයෙන් අවස්ථාව උදාකර ගන්නවා, ඊළගට විනාඩි කීපයක් සද්ද බද්ද නැතුව මාළු මුට්ටිය ඇතුළට යනකං හොදට බලංඉන්ඩ ඕනෙ, ඔන්න දැන් මාළු එකා දෙන්න මුට්ටියට එන්ඩ ගන්නවම මුලින්ම එන්නෙ දන්ඩි පැටවු, ඊළගට බුලත් හපයි, මඩ කනයි කෑදර උනාට මුට්ටියට එනවා අඩුයි, තල්කොස්සෝ හිටියොත් එනවා, ඒත් උන්ට අනික් මාළුන්ට වඩා වේගයෙන් පීනන්ඩ පුළුවන් නිසා මුට්ටියෙන් අල්ලන්ඩ අමාරුයි,
මල්ලි මාළු තුන් හතර දෙනෙක්ම මුට්ටිය ඇතුලෙ ඉන්නවා හිමිහිට ගිහිං මුට්ටිය උස්සල මට දෙන්ඩ” චිනි කියනවා, මමත් පුළුවන් තරම් කකුල් ඈතින් තියල ගිහිං හිමිහිට මුට්ටිය උස්සල චිනිට දෙනවා, තල්කොස්සෝ, බුලත්හපයි ගොඩක් වෙලාවට පැන ගන්නවා, ඒත් දන්ඩි පැටව්නම් ඔහේ මුට්ටියෙ තියන බත් රසවැටිලා වගෙ ඉන්නවා,
චිනි මාළු පැටව් ටික අල්ලලා ටින්වලට දානවා, ඔහොම දෙතුන් පාරක් ඇල්ලුවම මාළුත් අපේ වැඩේ දැන ගන්නවා, “අපිට ඔය මිනිස්සුන්ගේ චයිනීස් ඕන නැ සත්තලන්” කියල මාළුවා තමන්ගෙ පෙම්බර මාලිට කියනවා,
අලෙ ඔව් අනේ එන්න සුදූ අපි අර ගල් තියන පැත්තට යමු කියල මාළුවා මාලිවත් කැන්දන් ඇලේ ඉහළට උඩුගං බලා පිහිනනවා,
අපිත් අපේ ටෙක් නික් වෙනස් කරනව, ගෙදරින් ගෙනාව රෙද්ද දිග කොන්දෙකේ දෙපැත්තෙන් අපි දෙන්නා අල්ලගෙන එක පොටක් වතුර යටින් අරන් අනෙක් පොට වතුර උඩින් අල්ලං අපිත් ඇලේ උඩහට හෙමින් යනව, ටිකදුරක් ගියහම ඇලේ පළල අඩු වෙනව,
ඔන්න ඔය වෙලාවට ගල් අස්සේ හැංගිලා ඉන්න මාළු බයකරල අපේ උගුලට අහුකරගන්ඩ වතුරට උඩින් අල්ලං ඉන්න පොට අතැරලා එකපාරටම ගල්ගෙඩියක් අරං ඉස්සරහට විසිකරනවා,
රෙද්දට මාළු ආවට පස්සේ හිමිහිට උඩට උස්සල ගන්ඩයි තියෙන්නේ. මෙහෙම අල්ලං එන මාළු මුලින්ම චිනිගේ විදුරු ටැංකියට දානව, ඊට පස්සේ අපි මාළු බෙදා ගන්නවා,
මෙහෙම අල්ලං එන මාළු ගොඩක් වෙලාවට වැඩි දවසක් ජිවත් වෙන්නේ නැ, බුලත් හපයි නම් දවසෙන් දෙකෙන් පරලොව යනව ඊළගට තල්කොස්සෝ ඊටපස්සේ දන්ඩි පැටව්, මඩකනයි තමයි අන්තිමට ඉතුරු වෙන්නේ,
ඒ කාලේ මේකට හේතුව හිතාගන්ඩ බැරි උනත් දැන්නම් හිතෙන්නේ වතුරෙ තත්වය මාළු මැරෙන්ඩ හේතු උනා කියලයි, ගලාගෙන යන ජලපහරක තියන ඔක්සිජන් ප්‍රමාණය ගොඩක් වැඩ්යි, ටැංකියේ වතුරෙ ඔක්සිජන් ප්‍රමාණය ගොඩක් අඩුයි, දිය යට පැලවෙන ගස් දාල තිබුණත් රාත්‍රියේදී ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ, ඇත්තටම වෙන්නේ රෑට වතුරෙ තියන ඔක්සිජන් ටිකත් ගස් වලට උරාගන්නා එක. අනිත් කාරණේ අපි දාපු කෑම බත්,පාන් කෑලි  ටැංකියේ පල්වෙන්ඩ ඇති, මාළුවෝ ටික මරුනහම අපි කාලයක් යනකං ආයේ මාළු අල්ලන්ඩ යන්නෙ නැ.
ඔන්න මගේ කථාව ඉවරයි මේකත් මාළු අල්ලපු කථාවක් තමයි, හැබැයි ටිකක් වෙනස් කථාවක් අපේ ලොකු අප්පොච්චිගේ පුතාගේ පවුලගේ නැන්දගේ ගමේ උන ඇත්තම සිද්දියක්ලු, සමහරවිට මේක ඔයාල කලින් අහල ඇති, කියවල බලන්ඩකෝ එහෙනම්.



ඔහේල දන්නවනේ ඉස්සර හාමුදුරුවරු මස් මාළු කන්නේ නැහැනේ, ඒත් මේ හාමුදුරුවෝ දකිනවා පිංවතුනි තම පංසලේ කොල්ලා නොහොත් ඇබිත්තයා හා අවසේස කොලු රැල පංසල අසළ ඇති නදියේ ඉස්නානයට පෙර මාළු බානවා, ( යකෝ සාදු කියන්ඩ එපා බං, පර පණ නසනව කියන්නේ අපායට ෆ්‍රී විසා ලැබෙන වැඩක්)
මෙහෙම බාන ලද මසුන් ඉතා අලංකාර වැල්ලෙස එකට අමුණා ගන්නවා, මේ  මාළු  කොල්ලෝ තමන්ගේ ගෙවල් වලට ගෙනියන්නේ පංසල ඉදිරිපස ඇති දෙවට පාරෙනුයි, දෑතින්ම මාළු වැල් අරගෙන යන කොල්ලන්ව අපේ සුවාමින් වහන්සේට පෙනෙනවා පින්වතුනි, මේක දකින ස්වාමිට නෑ වැරදුනා ස්වාමින් වහන්සේට මසුන් අනුබව කරන්ඩ ආසාවක් ඇතිවෙනවා පින් වතුනි
දැන් ඒ ස්වාමින්වහන්සේ මෙන්න මේ ආකාරයට පංසලේ කොල්ලට දෙසනාකරනවා,
බොල හරකෝ බලපන් අර කොල්ලෝ නාගෙන යන විදිය, හෙට එනකොට අදවගේ ඇට දෙක හොල්ල හොල්ලා එන්නෙ නැතුව අරුන් යනව වගෙ වර කියල.
ඇයි අස්පට්ද? මේන් මං ගියා!!!

පොටෝ එක ගූගල් අයියගේ!




Saturday, February 6, 2016

පැටියා කාලේ


මට  වතුර ටිකක් දෙන්ඩකෝ,
ඒ එරන්ගයා ඌ උසයි මම වගේ දෙකක් මහතයි. ටිචත් ඌට සපෝර්ට්  සිල්ලර බඩු ගන්නේ උන්ගේ කඩෙන්නේ.
මගෙ වතුර ටිකයි තියෙන්නේ ඒක මට ඕනේ. අම්ම ගෙදරින් එනකොට කියන්නේ උණු කරපු වතුර දාල තියෙන්නේ, ඉස්කෝලේ පිල්ලේ වතුර එහෙම බොනවා නෙවෙයි, බඩ යන්ඩ අරන් ඉස්පිරිතාලේ නවතිනඩ වෙයි,
මට  වතුර ටිකක් දෙන්ඩ බැයි ද එරන්ගයා ආයෙත් කෑගහනවා.
වතුර පොඩ්ඩයි තියෙන්නේ, මමත් අරින්නැ
දෙන්ඩ බැරිද
බෑ තමයි
උබ ලබන ආත්මේ කෑදැත්තෙක් වෙලා ඉපදෙයි, එරන්ගයා පන්තියටම ඇහෙන්ඩ කෑ ගහනවා.
කෑදැත්තා කියන්නේ කුරුල්ලෙක් බව දැනගෙන හිටියත් ළග ඉන්න ළමයාගෙන් කෝකටත් කියල මම විස්තර අහනවා,
මොකද බං එරන්ගයා මට කෑදැත්තෙක් වෙයි කියල කිඋවේ,
කෑදැත්තට වතුර බොන්ඩ බැරිලු බොන වතුර උගෙ බෙල්ලේ තියන සිදුරකින් පිටට යනවලු, චමින්දය මට කියල දෙනවා.
එරංග ආ වතුර බෝතලේ මටත් ටිකක් ඉතුරු කරපන්, මම කියනවා,
ආයේ ලබන ආත්මේ කෑදැත්තෙක් වෙන්නේ මොකටද......!!!.
බෝතලේ වතුර වලට වඩා ඉස්කෝලේ කන්දෙන් එන වතුර සීතලයි, රසයි,ඇල ඉවුර දෙපත්තේම පොඩි වතුර උල්පත් තියනවා ඒවට අන්නාසි කොලයක් ගහල ගත්තම ටැප් එකෙන් වතුර එනවා වගේ වතුර පාරක් ගලාගෙන එනවා, දැන් තියෙන්නේ පිළිවෙලට පොරකකා වතුර බොන්ඩ, සත්ව ලෝකේ වගේ තමයි මහත, උස උන් පොඩිඋන් ඇදල දාල මුලින්ම වතුර බොනවා,ඊ ළගට උන්ගේ නංගිලා මල්ලිලා (පවුල් පාලනේ වගේ තමා) ඊටත් පස්සේ අපිවගේ පොඩිඋන් වතුර බොනවා. රබර් වත්තෙන් ගලාගෙන එන ඇලේ වතුරත් සීතලයි, ඒකෙන් තමයි අපි මුහුණ සෝදා ගන්නේ, ඒ වතුර බීවොත් නම් අම්ම කියනවා වගේ බඩ යන්ඩ හැදිලා ඉස්පිරිතාලේ නවතින්ඩ වෙයි, මොකද ඉස්කෝලෙට උඩින් තියන රබර් වත්තේ වැඩකරන මිනිස්සු වැඩ කරන වෙලාවට හදිස්සියක් උනාම කක්කුස්සි කරන්නේ ඇල අද්දර, ඊට පස්සෙ ඇලට බැහැල සෝද ගන්නවා,
පස්සෙන් පහු ලොකු වැහි ඇල්ලක් ආවම ඔක්කොම කුණු බේරුවල් බොක්කට කිවුව වගේ ඔක්කොම ජරාව රබර් වත්තේ කාණු දිගේ ඇවිත් ඇලට එකතුවෙලා ඉස්කෝලේ මායිම දිගේ පල්ලම් බහිනවා. වැස්සෙන් පස්සේ වතුර බොරපැහැ ය නැති උනත් විසබීජ නැති වෙන්නේ නැ.
ඔය ඉස්කෝලේ ඇලේ අනික් පැත්තේ ඉන්නේ අපේ පන්තියේ මගෙ හොදම යාලුවෙක්, හතරේ පන්තියෙදි තමයි අපි හොදටම යාළු වෙන්නේ නම උපුල් ඒත් මිනිහ එක අවුරුද්දක් පේල් වෙලා නිසාත් උන්ගේ ගෙදර කට්ටිය කියන නිසාත් මමත් කියන්නේ චිනි අයිය කියල, ඉස්සර දැන්වගේ ටියුසන් පංති නැති නිසා ඉස්කෝලෙන් පස්සේ ගොඩක් වෙලාවට අපි එකතුවෙලා එකේක සෙල්ලං කලා.
එක එක කාලෙට එක එක පිස්සු හැදෙනවා මේ ළමයිට එහෙමයි අම්මල තාත්තලා කියන්නේ, ඔන්න එක පාරක් අපිට හැදුන මාළු පිස්සුව, ඒකියන්නේ මාළු ඇතිකිරීමේ පිස්සුව, දැන්වගේ හැම ටවුමකම මින්මැදුරු තිබුණේ නැති ඒ කාලෙ අපි ඇලට ගිහිං මාළු අල්ලන් එන්ඩ තීරණය කළා. ඒත් මාළු දාන්ඩ ටැංකියක් කෝ

ඊ ළග පොස්ටුවෙන් මාළු ටැංකිය ගැනත් මාළු අල්ලපු විදිහත් බලමු.

Friday, February 5, 2016

කුකුල් කොටුවට පැමිණි ඔබ සැම සාදරයෙන් පිලිගන්නවා, මම කුකුළා, කුකුල් කොටුවෙ ජාතිබේද,ආගම්බේද නෑ,කුකුළට හැමෝම එක සමයි, කුකුල් කොටුවෙ හඬලන්නේ,කෙකර ගාන්නේ,බිත්තර දාන්නේ, මඩ ගහන්නේ,සුදුහුණු ගාන්නේ වන් ඇන්ඩ් ඔන්ලි මං තුමා,



අකුරු උක්ත ආක්යාත වැරදුනොත් ගණන් ගන්ඩ එපා මොකද මම ප්‍රාඥයෙක් නෙවයි, කැම්පස් එකක් ළගටවත් ගිය එකෙක් නෙවෙයි.බයියෙක් වත් ටොයියෙක් වත් නෙවෙයි, ගං කුකුලෙක් උනාට සමහර දේවල් ලියනකොට සිංගිරිසි වලින් ලියයි, තරහ ගන්ඩ එපා හොඳයි, වැරැද්දක් දැක්කොත් පෙන්නලා දෙන්ඩ ඒවා හදාගන්නම්.මගෙ පුද්ගලික අත්දැකීම්, වැඩපලේ දේවලුත් මම කැමති දේවලුත් ලියන්ඩ බලාගෙන ඉන්නේ, කියවල බලල ගුණදොස් කොමෙන්ට් කරනවානම් අගෙයි.
කෙකර ගෑව මදයි ඉස්සරහට දාන්නම් හොඳ බිත්තර ටිකක්,
මම,

ගං කුකුළා.!

පස්සේ ලියපුව -
මොකද බං කුකුළා කියල දැම්මේ,මිනිස්සු හිතයි උබ පැනියෙක් කියල
එක. මිනිස්සුන්ට කැමති දෙයක් හිතන්ඩ අයිතිය තියනවා,
දෙක , කොල්ලා කාලෙදි මගෙ කාඩ් එක කුකුළා (ඒ මගේ පැණි හිනාව නිසයිලු )
තුන, නමෙන් මිනිහෙක් මනින්ඩ පුලුවන්ද?